කාන්තා හිංසනයට එරෙහිව "යුක්තියමගේ අයිතියයි" ජාතික ව්‍යාපාරය දියත් කෙරේ
23 November 2026
කාන්තා හිංසනයට එරෙහිව "යුක්තියමගේ අයිතියයි" ජාතික ව්‍යාපාරය දියත් කෙරේ
23 November 2026
ශ්‍රී ලංකාවේ සමීපතම සහකරුවෙකු අතින් ලිංගික හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (49.3%) කිසිදු විධිමත් සහායක් පතා නොමැති බව ජාතික කාන්තා සුබසාධන සමීක්ෂණයේ (National Women's Wellbeing Survey) දත්ත මගින් අනාවරණය වී තිබේ.
2019 වසරේ සිදුකළ එම සමීක්ෂණ වාර්තාවට අනුව, සහකරුවෙකු සිටි කාන්තාවන්ගෙන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු (39.8%) සිය ජීවිත කාලය තුළ ශාරීරික, ලිංගික, මානසික හෝ ආර්ථික හිංසනයන්ට ලක්ව ඇති අතර, පස් දෙනෙකුගෙන් එක් අයෙකු (20.4%) සමීපතම සහකරුවෙකු අතින් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනයට ගොදුරු වී ඇත.
සමාජ අපකීර්තිය, පළිගැනීම් පිළිබඳ බිය සහ පවතින උපකාරක සේවාවන් පිළිබඳ සීමිත දැනුවත්භාවය මෙලෙස ඔවුන් සහාය නොපැතීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මෙම තත්ත්වයට පිළියම් යොදමින්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට (GBV) ලක්වූවන්ට යුක්තිය සඳහා ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ශ්‍රී ලංකා) සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි සංසදය (FAGBV) එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ සහ UNFPA ශ්‍රී ලංකා සහකාර නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග යන මහත්ම මහත්මීහු මේ පිළිබඳව කරුණු පැහැදිලි කළහ.
නොවැම්බර් 25 වන දින යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයේ සිට දෙසැම්බර් 10 වන දින යෙදෙන මානව හිමිකම් දිනය දක්වා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය, "#යුක්තියමගේ අයිතියයි (#JusticeIsMyRight) එක්සත්ව ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය නවතමු" යන ජාතික තේමාව යටතේ මෙහෙයවනු ලැබේ.
2026 නොවැම්බර් 25 වන බදාදා කොළඹ තුරඟ තරඟ පිටියේ (Race Course) සිට කොළඹ මහ නගර සභාව දක්වා ජාතික පාගමනක් පැවැත්වෙන අතර, අනතුරුව යුක්තිය ඉටුකර ගැනීමට ඇති බාධා ජයගැනීම පිළිබඳ සංවාදයක් පැවැත්වේ.
හිංසනයට ලක්වූවන්ට සහාය වන ආයතන අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීමට 'සේවා සපයන්නන්ගේ ජාතික ඩිජිටල් නාමාවලිය' (National Digital Directory of GBV Service Providers) හඳුන්වා දෙනු ලැබේ.
"ඒක පොඩි දෙයක් නෙවෙයි" වැඩසටහන: පොදු ස්ථානවල සිදුවන ලිංගික හිරිහැර සහ ගෘහස්ථ හිංසනය හඳුනාගෙන ඊට මැදිහත් වීමට ප්‍රජාව දිරිමත් කරන සන්නිවේදන වැඩසටහනක් ද මෙහිදී දියත් කෙරේ.
නීතිමය හා ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ නිර්දේශ ඒකරාශී කර දෙසැම්බර් 12–13 දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එමෙන්ම, හිංසනයට ලක්වන කාන්තාවන්ට සහාය වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, හිංසනයට ලක්වූවන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි ආචාර ධර්මීය වාර්තාකරණයක නිරත වන ලෙස මාධ්‍ය ආයතන දිරිමත් කිරීමටත් මෙහිදී පියවර ගෙන ඇත.v


