ඇමෙරිකානු තෙල් මිල පාලනය කිරීමට ට්රම්ප් ඉන්දියාවේ සහය පතයි
24 October 2026
ඇමෙරිකානු තෙල් මිල පාලනය කිරීමට ට්රම්ප් ඉන්දියාවේ සහය පතයි
24 October 2026
ලෝක වෙළඳපොළේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සීඝ්රයෙන් ඉහළ යන ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය නව උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියාවේ සහය ලබා ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉදිරි ඇමෙරිකානු මධ්යවාර මැතිවරණය (Midterm Elections) ඉලක්ක කරගනිමින්, එරට පාරිභෝගිකයන් මුහුණ දෙන ඉහළ ගෑස් සහ ඉන්ධන මිල සහනදායී මට්ටමකට පත් කිරීම ට්රම්ප් රජයේ මූලික අරමුණ වී තිබේ.
මේ යටතේ ඇමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ පිහිටි, ලොව විශාලතම තෙල් පිරිපහදු සංකීර්ණය වන රිලයන්ස් ඉන්ඩස්ට්රීස් සමාගමට අයත් ජම්නගර් පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
වෙනිසියුලාවෙන් ලබාගන්නා බරැති බොරතෙල් ඉහළ ධාරිතාවකින් පිරිපහදු කර ලෝක වෙළඳපොළට සැපයීමට ඉන්දියාවට ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණි.
ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ට්රම්ප් පරිපාලනය සිය විදේශ ප්රතිපත්තීන්හි කැපී පෙනෙන වෙනසක් සිදුකර තිබේ.
ඒ අනුව, ගෝලීය බලශක්ති සැපයුම ස්ථාවර කිරීමට සහ ඉන්දියාව වැනි ප්රධාන ගැනුම්කරුවන්ට සහන සැලසීම පිණිස රුසියානු තෙල් මත පනවා තිබූ දැඩි සම්බාධක දින 60ක කාලසීමාවකට අත්හිටුවීමට ජනාධිපති ට්රම්ප් පියවර ගෙන ඇති බවට වාර්තා වේ.
එමෙන්ම, ග්රැහැම් පනත ක්රියාත්මක කරමින් රුසියානු තෙල් මිලදී ගන්නා ප්රමුඛ රටවල් සඳහා පනවා තිබූ 100%ක තීරුබදු ද තාවකාලිකව ඉවත් කර තිබේ.
යුක්රේනය විසින් රුසියානු බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්රහාර සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තා හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තාවල සඳහන් වේ.
මෙලෙස අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ යාම නොවැම්බර් 3 වනදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මධ්යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලයට දැඩි තර්ජනයක් එල්ල කළ හැකි බැවින්, ඉන්දියාවේ පිරිපහදු ධාරිතාව උපරිමයෙන් භාවිත කරමින් ඇමෙරිකානු වෙළඳපොළේ මිල ගණන් පහත හෙළීමට ට්රම්ප් පරිපාලනය දැඩි උත්සාහයක නිරත වේ.

