අධ්යාපන ප්රතිසංස්කරණවලට බෝම්බ නොගසමු !
16 October 2026
අධ්යාපන ප්රතිසංස්කරණවලට බෝම්බ නොගසමු !
16 October 2026
යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණවල දෙවැනි පියවර ලබන වසරේ ක්රියාත්මක කිරීමට අධ්යාපන අමාත්යාංශය සූදානම් වෙයි. එකී ප්රතිසංස්කරණ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා නව වෙබ් අඩවියක්ද අධ්යාපන ඇමැතිවරිය මෙයට දින කිහිපයකට පෙර විවෘත කළාය. එය ඉතාම අගනා පියවරක් බව සඳහන් කළ යුතුය. මුල සිට ආණ්ඩුව වරද්දා ගත් කරුණක් වූයේ යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ මහජනතාව දැනුවත් නොකිරීමය. එකී ප්රතිසංස්කරණ පිළිබඳ ජන සමාජය තුළ විධිමත් සංවාදයක් ආරම්භ කිරීමට අවශ්ය පියවර ආණ්ඩුව නොගත් බව පෙනේ. එනිසා හතර වටින් විවේචන එල්ල විය.
අපේ රටට බ්රිතාන්යය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමට පෙර සිටම බෙහෙවින් වාද විවාදවලට ලක් වූ මාතෘකාවක් සේ අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ යෝජනා දැක්විය හැකිය. නිදහස් අධ්යාපනයේ පියා වූ කන්නංගර මහතා ඉතා පුළුල් පදනමක් යටතේ නව අධ්යාපන ප්රතිසංස්කරණ ඉදිරිපත් කළ අවස්ථාවේද ඔහුට එරෙහිව ප්රබල විවේචන එල්ල විය. අවසානයේ ඔහු හුදෙකලා විය. එනම් ඔහුට තනි සටනක් කිරීමට සිදුවිය. එහෙත් එකල විද්යාලංකාර පිරිවෙනෙහි යක්කඩුවේ ශ්රී ප්රඥාරාම, වල්පොළ රාහුල, කොටහේනේ ප්රඥා කීර්ති වැනි මහ යතිවරුන් කන්නංගර මහතා ඉදිරිපත් කළ නිදහස් අධ්යාපන ප්රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි නිසා එය සම්මත කර ගැනීමට හැකි විය.
නිදහසෙන් පසුවද රටේ අධ්යාපන ක්රමය විටින් විට ප්රතිසංස්කරණය කිරීමට පියවර ගනු ලැබීය. ඒ බොහෝ සාධනීය ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට නොහැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණ පදනම් කරගත් ශිෂ්ය ව්යාපාර විසින් ඒවාට එරෙහිව ප්රබල සමාජ විරෝධයක් ගොඩ නැගීම නිසාය. එවැනි ප්රතිසංස්කරණ අතර අධ්යාපන ධවල පත්රිකාවට එරෙහිව මතු කළ සමාජ විරෝධය මෙහිලා අපගේ සිහියට එයි. එකී අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ ඉංග්රීසි භාෂාව පාසල් අධ්යාපන මාධ්යය කිරීමේ යෝජනාවද විය. එහෙත් ඒ කිසිවක් ක්රියාත්මක කිරීමට නොහැකි විය. එවැනි සාධනීය ප්රතිසංස්කරණවලට එරෙහි වූ ජනතා විමුක්ත පෙරමුණ වැනි දේශපාලන ව්යාපාර හැත්තෑ වසරක සාපය ගැන කතා කරයි. ඉංග්රීසි භාෂාවෙන් පාසල් අධ්යාපනය ලබාදීමේ යෝජනාව ක්රියාත්මක වූයේ නම් ජාත්යන්තර ඉහළ රැකියා වෙළෙඳපොළ ට ගැළපෙන ආකාරයේ නිපුණයන්, වෘත්තීයවේදීන්, තාක්ෂණවේදීන් රැසක් බිහි කර ගැනීමට අපේ රටට අවස්ථාව ලැබීමට ඉඩකඩ තිබුණි. එහෙත් ඒ ඉඩ අපට අහිමි විය. දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවල් එකී අවස්ථාව හිමිකර ගත්තේය. අද ඉන්දියාවේ වෘත්තීයවේදීහු ලෝකයේ සියලු තැන්වල සිටිති.
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ ගුරු කේන්ද්රීය අධ්යාපන ක්රමය වෙනස් කිරීමට පියවර ගැනීම සාධනීය ලක්ෂණයකි. එකී ක්රමය යටතේ සිසුන්ට සිදුවනුයේ ගුරුවරයා පෙළ පොත අනුව උගන්වන දේ මතක තබා ගැනීම පමණි. එමගින් පොතේ ගුරාලා පිරිසක් බිහිවූහ. උසස් පෙළ සඳහා සූදානම් වන සිසුහුද කටපාඩම් කිරීම කෙරෙහිම අවධානය යොමු කරති. විද්යා විෂය ධාරාව යටතේ ඉගෙන ගන්නා සිසුන්ද වෑයම් කරනුයේ විශාල විෂය කරුණු ප්රමාණයක් කෙසේ හෝ මතක තබාගෙන ප්රශ්න පත්ර මත වැමෑරීමය. රටට හා ලෝකයට අවශ්ය වනුයේ විවේචනාත්මක චින්තනය, විශ්ලේෂණාත්මක ශක්යතාව, තාක්ෂණික සහ මූල්යය සාක්ෂරතාව සහිත එසේම සෞන්දර්යාත්මක ශික්ෂණයකින් යුක්ත පිරිසකි. එවැනි පිරිසක් වර්තමාන අධ්යාපන ක්රමයෙන් බිහි වෙත්ද? යන ගැටලුව කාලයක් තිස්සේ මතුකරන්නකි. පාසල් අධ්යාපන ක්රමය මගින් බිහිකළ යුත්තේ නව දැනුම සොයාගෙන යන, ඒ පිළිබඳ හුරුවක් තිබෙන පරම්පරාවකි. එසේ විනා ගුරුවරුන් හෝ පොතපත මතම යැපෙන පිරිසක් බිහිකිරීමෙන් එම පරම්පරාව පමණක් නොව රටද අනාථ වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ජාත්යන්තර පුරවැසියෙකු වීමට අවශ්ය අධ්යාපනයක් අපේ දූ දරුවන්ට ලැබිය යුතුය. අද අප ජීවත්වනුයේ දේශීය වශයෙන් පමණක් ගැටලු විසඳා ගත හැකි යුගයක නොවන බව අවධාරණය කළ යුතුය. සියලු පැතිවලින් අපි ජාත්යන්තර වශයෙන්, වඩාත් ජනප්රිය ව්යවහාරය අනුව ගෝලීය වශයෙන් බැඳී සිටිමු. ජාත්යන්තර සාධනීය හා නිශේධනීය බලපෑම් අපේ වැනි රටවල පැවැත්මට සහ නැවැත්මට තීරණාත්මක සාධකයක් වී තිබේ. අපට සිටිය යුත්තේ එකී අභියෝගවලට මුහුණ දිය හැකි, ඒවා කළමනාකරණය කර ගත හැකි පරම්පරාවකී. පාසල් යන, ඉන් පසු පෞද්ගලික පන්ති හඹායන පරම්පරාවකින් නව ජාත්යන්තර සහ දේශීය අභියෝග ජයගත හැකි පරම්පරාවක් බිහි වන්නේ නැත. අද අපට දැනුම ලබාගත හැකි අවකාශය පුළුල් වී තිබේ. එකී අවකාශය තුළ රටටත් ලෝකයටත් අවශ්ය දැනුම තෝරා බේරා ගැනීමේ හැකියාව සහිත පිරිසක් අනාගතයේ බිහිවිය යුත්තාහ. එසේ නොවුණහොත් අතරමං වූ පරපුරක් බිහිවීම නොවැළැක්විය හැකිය. දැනුදු එවැනි පරපුරක ආරම්භය සිදුව තිබෙන බව රහසක් නොවේ. නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ පෙර පාසල් සඳහාද නිශ්චිත වැඩපිළිවෙළක් හඳුන්වාදීම අගය කළයුතු පියවරකි. රටේ පෙර පාසල් අධ්යාපනයේ අයාලය යාමක් තිබෙන බව ට විවේචන පළ වූයේ අද ඊයේ නොවේ. එයටද පිළියම් යෙදීම ජාතික වගකීමකි. පෙර පාසල් ගුරුවරුන්ටද ප්රශස්ත මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුය. කෙසේ වුවද අධ්යාපන ඇමැතිවරියට අප සඳහන් කරන්නේ මුල සිටම සාධනීය අධ්යාපන ප්රතිසංස්කරණ වලට එරෙහි වූ ඔබ සමග දේශපාලනය කරන කණ්ඩායම්වල සහයෝගය පළමුව ලබා ගත යුතු බවය.

