මෙසී බේසමේ නාවපු බිලිඳා - අවසන් තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා
18 July 2026
මෙසී බේසමේ නාවපු බිලිඳා - අවසන් තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා
18 July 2026
අප දැන් එළැඹ සිටින්නේ දින තිස් නවයක පාපන්දු උන්මාදයේ කූට ප්‍රාප්තියටයි. නව සතිය ඇරඹෙන්නේ නව ලෝක ශූරයන් පිරිසක් සමගිනි. ඇතැම්විට ඒ, පසුගිය ලෝක ශූරයන් ම විය හැක. නොඑසේනම් වසර දහසයක ඉවසිලිවන්ත බලා සිටීම ජයග්‍රහණයකට පාර කැපූ කණ්ඩායමක් වීමට ද ඉඩ තිබේ. ඒ කවුරුන් වුව ද ඒ ගැන අවධානයෙන් සිටින බොහෝ දෙනා මේ මොහොතේ සිටින්නේ ද ඉහළ හෘද ස්පන්දනයකින් විය හැක. ඒ පාපන්දුවේ ස්වභාවයයි. කිසිම අදාළත්වයක් නැති අය පවා තමන්ට ආකර්ෂණය කරගැනීමට පාපන්දුවට ඇත්තේ සුවිශේෂ හැකියාවකි; බලයකි.
ශ්‍රී ලංකා වේලාවෙන් සඳුදා එළිවන්නට පැවැත්වෙන ආර්ජන්ටිනා - ස්පාඤ්ඤ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට හිමිවන්නේ ඓතිහාසික වටිනාකමකි. “රිදී” යන අරුත ගත් ලතින් වචනයක් වන “argentum” යන්නෙන් ආජන්ටිනාව යන නම උපත ලබා ඇත. එරට වසර තුන්සියයක පමණ කාලයක් පැවැතියේ ස්පාඤ්ඤ අධිරාජ්‍යයට යටත්වයි. එනිසාම ආර්ජන්ටිනාවේ නිල භාෂාව වන්නේ ඔවුන්ගේ ජනගහනයෙන් සියයට අනූ අටකට වඩා භාවිත කරන ස්පාඤ්ඤ බසයි. ඒ අනුව ස්පාඤ්ඤ බස හසුරුවන කණ්ඩායම් දෙකක් පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූයේ වසර අනූ හයකට පසුවයි. මීට පෙර ස්පාඤ්ඤ බස කතා කරන දෙපිලක් අවසන් මහා තරගයේ දී එකිනෙකා හමුවූයේ 1930 සමාරම්භක ලෝක කුසලානයේදීයි. ඒ, ආර්ජන්ටිනාව සහ උරුගුවේ ය. එයට ශත වර්ෂයක් සපිරීමට සිව් වසක් ඉතිරිව තිබියදී මෙවර ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නෝ දෙපිරිසක් අවසන් මහ ගැටුමේ දී එකිනෙකා හමුවෙති. එබැවින් තරගය භාෂා ගැටුමකින් තොර වන බවනම් පැහැදිලිය. ආර්ජන්ටිනාව වත්මන් ලෝක කුසලාන සහ කෝපා ඇමරිකා ශුරයන් ය. ස්පාඤ්ඤය වර්තමාන යුරෝපා ශූරතාවට හිමිකම් කියයි. එබැවින් මේ ගැටුම අතිශය තීරණාත්මක වනු ඇත. ආර්ජන්ටිනාවට ඇත්තේ සිය ලෝක කුසලාන අයිතිය තවත් වසර හතරකට සන්තකයට ගැනීමේ අපේක්ෂාවයි. වසර දහසයක නිහැඬියාවට තිත තැබීම ස්පාඤ්ඤ අරමුණ වී ඇති බවට සැක නැත.
ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර ගැටුම් තරාදිය සමබරය. අවස්ථා 14 කදී ඔවුන් එකිනෙකා හමුවී ඇත. තරග 6 ක් ආර්ජන්ටිනාව ජයගෙන ඇත. ස්පාඤ්ඤයට ද ජයග්‍රහණ 6 කි. අනෙක් තරග ද්විත්වය ජය පැරදුමෙන් තොරව අවසන් විය. මේ කණ්ඩායම් දෙක ලෝක කුසලානයකදී මීට පෙර එකිනෙකා සම්මුඛ වී ඇත්තේ වතාවක් පමණි. ඒ, 1966 කණ්ඩායම් වටයේ දී ය. එහිදී ගෝල 2-1 ක් ලෙස ආර්ජන්ටිනාව ජය ලැබීය. සඳුදා, කණ්ඩායම් අතර හමුව ඔවුන්ගේ ඉතිහාසයේ පහළොස් වන වරටයි. එහි ප්‍රතිඵලය ආර්ජන්ටිනාව ලෝක කුසලාන හතරක් දිනූ තරු හතරේ රටක් ද නැතහොත් ස්පාඤ්ඤය දෙවතාවක් ලෝක ශූරයන් වූ තරු දෙකේ රටක් ද යන්න තීරණය කෙරෙනු ඇත.
ලෝක කුසලාන තරගාවලියක සිදුවන දෙරටේ දුර්ලභ හමුවට වඩා මෙවර වැඩිම අවධානය දිනා ඇත්තේ වෙනත් කාරණාවකි. ඒ, සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සහ තරුණ ක්‍රීඩක ලමීන් යමාල් අතර හමුවයි. මීට වසර කිහිපයකට ඉහතදී තරුණ මෙසී, නිල් පැහැති බේසමක දමා බිලිඳකු ස්නානය කරවන ඡායාරූප මාලාවකට පෙනී සිටියේ ය. ඒ, UNICEF සංවිධානය සහ ස්පාඤ්ඤ පුවත්පතක් එක්ව සැකසූ පුණ්‍ය දින දර්ශනයක් වෙනුවෙනි. බාසිලෝනා ක්‍රීඩකයන් මූලික කරගනිමින් ඡායාරූප ගැනීමට සැලසුම් සකස් කෙරිණ.
දිනුම් ඇදීමකින් තෝරාගනු ලැබූ මාස කිහිපයක් වයසැති කුඩා දරුවකු සහ එවකට තරුණ වියේ පසුවූ මෙසී ද ඡායාරූප සඳහා සහභාගී කරවා ගැනීමට සංවිධායකයෝ කටයුතු කළහ. දරුවා නහවන පින්තූර ගැනීමෙන් පසු, තුවායක එතූ දරුවා මෙසීගේ අතේ සිටින අවස්ථා ද ඡායාරූපගත කර ඇත.
ඒ දරුවා කවුරුන්ද යන්න දැනගැනීමට එකල කිසිවකුට ඕනෑ වූයේ නැත. එහෙත් වසර ගණනාවක ඇවෑමෙන් පුංචි කොලු පැටියා ගජ ඉලන්දාරියකු වූයේ ය. ලමීන් යමාල් ලෙස ඔහු ප්‍රසිද්ධ විය. එපමණක් නොව, සොඳුරු අහඹුවක් සටහන් කරමින් ඔහු ද මෙසී මෙන්ම වම් පාදයෙන් ක්‍රීඩා කරන්නකු වූයේ ය. බාසිලෝනා කණ්ඩායමට ඔහු ක්‍රීඩා කරන්නේ මෙසී ලෙසම අංක 10 ජර්සිය පලඳිමිනි. මෙසී සිය හයවන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙද්දී යමාල් තම මංගල ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටී. ඔහු තරග වදින්නේ අංක 19 ජර්සියෙනි. මෙසී ද සිය මංගල ලෝක කුසලානයට සහභාගී වූයේ අංක 19 ජර්සිය පැලඳගෙනයි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය අතරතුර මෙසී සිය 39 වැනි උපන් දිනය සැමරීය. ඒ පසුගිය මස 24 වැනිදායි. යමාල් ජූලි 13 වැනිදා සිය 19 වන වසර සම්පූර්ණ කළේ ය. ඉන් දින හයකට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයකට සහභාගී වීමට ඔහු සූදානමින් සිටී. තමා නැහැවූ බිලිඳා ලෝක කුසලාන අවසාන මහා තරගයකදී කවදා හෝ සිය ප්‍රතිවාදියකු වනු ඇතැයි මෙසී එදා සිහිනයකින්වත් නොසිතන්නට ඇත. එහෙත් ඒ සොඳුරු අහඹුව සිදුවීමට නියමිතය. අපට බලා සිටින්නට ඇත්තේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම පාපන්දු ශූරයකු වන මෙසීගේ දෑතේ ලෝක කුසලානය රැඳේවිද, නැතහොත් බිලිඳකු ලෙස එදා ඔහුගේ අත්වල උණුසුමේ සිටි යෞවනයා කුසලානයට හිමිකම් කියනු ඇතිද යන්නයි.
අවසන් මහා තරගය තීරණය කෙරුණු පසුගිය සතිය පුරා ද රස කතා බොහොමයකි. ඉන් පෙනී යන දේනම් පාපන්දුවට ඇති බලයයි. එය විටෙක පුදුමාකාරය. ලෝක කුසලාන තරගාවලි පහක් නියෝජනය කළ පේරු රාජ්‍යය 2018 න් පසු ලෝක කුසලානයකට සුදුසුකම් ලබා නැත. එහෙත් පාපන්දු කෙරෙහි ඔවුන්ගේ ප්‍රේමයට එය බාධාවක් නොවේ. වසර 28 කට පසු පාපන්දු ලෝක කුසලානයකට සහභාගී වූ නෝර්වේ කණ්ඩායම ඔවුන්ගේ සිත් ගත්තේ ය. අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණි ගමනේ ගෝල හතක හිමිකාරයා වූ අර්ලින් හාලන්ඩ් ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා වී තිබේ. එය උමතුවක් වූ බවට සාක්ෂි ඕනෑ තරම් ය. පේරු ජාතික අනන්‍යතා ලේඛනයෙහි ඒ පිළිබඳ ලිඛිත සාක්ෂි අන්තර්ගතය. ඒ අනුව, අලුත උපන් දරුවන් පන්සියයකට වඩා ඔවුන්ගේ දෙමාපියන් විසින් හාලන්ඩ්ගේ නම තබනු ලැබ ඇත. 468 දෙනකුට “හාලන්ඩ්” නමයි. බිලිඳුන් 91 දෙනකුට “අර්ලින් හාලන්ඩ්” ලෙස සම්පූර්ණ නම තබා තිබේ. මේ තත්ත්වය නිසාම පේරු හි ජාතික අනන්‍යතා සහ සිවිල් ලියාපදිංචි කිරීමේ ආයතනයේ නිලධාරීන් ද විහිළුවට පවසන්නේ හාලන්ඩ් පේරු ජාතිකයකු බවයි. එපමණක් නොව, නෝර්වේ ජාතික කණ්‌ඩායමේ වයිකින් රෝ සැමරුම ද පේරු හි අතිශය ජනප්‍රිය ය. නෝර්වේ පාපන්දු ජර්සියට ද එරට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ අතර, පාපන්දුවට ආදරණීය ලෙස ඇලුම් කරන අය අතරේ ඇතැමුන් ඊට දරුණු ලෙස ඇලී බැඳී ඇති ආකාරය ගැන සිහිපත් කෙරෙන උදාහරණයක් ආවේ නෝර්වේ - එංගලන්ත අර්ධ අවසන් පූර්ව තරගය අතරතුරයි. එහිදී නෝර්වේ 1-0 ක් ලෙස පෙරමුණේ සිටියදීම තවත් ගෝලයක් ලැබීමේ අවස්ථාවක් නෝර්වේට හිමිවිය. පන්දුව පැවැතියේ ඇලෙක්සැන්ඩර් සෝර්ලොත් සතුවයි. ගෝලයක් ලැබීමට තිබූ හොඳම විකල්පය ලෙස දකින්නට තිබුණේ ඔහු පන්දුව හාලන්ඩ් වෙත යොමු කිරීමයි. එහෙත් ඒ වෙනුවට ඔහු පහරකට යොමු වූ අතර, එය අසාර්ථක විය. අවසානයේ තරගය අවසන් වූයේ 2-1 ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය ලබමිනි. අනතුරුව සෝර්ලොත්ට මරණ තර්ජන ඇතුළු දැඩි බලපෑම් එල්ලවන්නට විය. ඔහුගේ පෙම්වතිය ද මෙවැනි පණිවුඩ පිළිබඳ කනස්සල්ලෙන් කතා කළාය. මෙම තත්ත්වය මත මානසික යහපැවැත්ම වෙනුවෙන් සමාජ මාධ්‍යවලින් ඈත්ව සිටින ලෙස නෝර්වේ ප්‍රධාන පුහුණුකරු සිය ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙමින් නෝර්වේ පාපන්දු කණ්ඩායම ලැබූ ඉහළම ජයග්‍රහණය වෙනුවෙන් නැවත මව් රටට පැමිණීමේ දී ඔවුන්ට ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඔවුන් වෙනුවෙන් ඔස්ලෝ නගරයේ සමස්ත ජනතාව ම පාහේ වීදි බැස තිබිණ. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දී ප්‍රේක්ෂක වෛරයට බඳුන්වූ එකම තැනැත්තා සෝර්ලොත් පමණක් නොවේ. එංගලන්ත සුපිරි ක්‍රීඩක ඩේවිඩ් බෙකම් පවා දෝෂාරෝපණ ලැබීය. ඒ, ආර්ජන්ටිනාවට එරෙහි තරගයකදීයි. කොහොමටත් එංගලන්ත- ආර්ජන්ටිනා ලෝක කුසලාන හමුවීම් එතරම් හොඳ නැත. මෙවර දෙරට අතර අවසන් පූර්ව තරගය ආසන්නතම උදාහරණයයි. 1966 වර්ෂයේ දෙපිල හමුවූ අවස්ථාවේ එංගලන්තය, ආර්ජන්ටිනා කණ්ඩායම අර්ථ දැක්වූයේ සතුන් පිරිසක් ලෙසිනි. 1-0 ක් ලෙස එංගලන්තය ජයගත් එම තරගයේදී ෆවුල් අවස්ථා 50 ක් වාර්තා විය. රතු, කහ කාඩ්පත් ක්‍රමයට මග පෑදූ සිදුවීමක් ලෙස ආර්ජන්ටිනා නායක ඇන්තෝනියෝ රැටින් පිටියෙන් ඉවත් කෙරුණේ ද එහිදීය.
මැරඩෝනා සිය ජීවිතයේ හොඳම ගෝලයක් ලැබූ සහ ඔහුට දේව හස්තය ගැන චෝදනා එල්ලවූ 1986 අර්ධ අවසන් පූර්ව තරගය ද දෙරට අතර ය. දඬුවම් පහර මගින් එංගලන්තය පරාජය වූ 1998 තරගය දෙරටේ ඊළඟ හමුව විය. මෙම තරගයේ දී ආර්ජන්ටිනා ක්‍රීඩකයකු බිමට ඇද දැමීම නිසා රතු කාඩ්පතක් ලැබූ බෙකම්ට පිටියෙන් ඉවත් වීමට සිදුවූයේ 48 වැනි මිනිත්තුවේ දීය. තරග පරාජයට එය ප්‍රධාන හේතුවකි.
“ඒක ඉන් පසු වසර කීපයක්ම මගේ ක්‍රීඩා දිවියට බලපෑවා. ඒක තමයි මගෙ අමාරුම කාලය”
බෙකම් එසේ කියන්නට ඕනෑ තරම් හේතු විය. ඔහුට එරෙහි මහජන විරෝධය දැඩිසේ ඉස්මතු වීය. මාධ්‍ය මගින්ද ඔහු විවේචනයට ලක්වූයේය. සිංහයන් දසදෙනකු සමග සිටි මෝඩ කොලුවකු ලෙස ද ඔහු අර්ථ දැක්වීමට ඇතැම් එංගලන්ත මාධ්‍ය කටයුතු කළේ ය. කෙසේ වෙතත් ඉන් සිව් වසරකට පසු නැවත ආර්ජන්ටිනාව හමුවූ අවස්ථාවේ එංගලන්තය ගෝල 1-0 ක් ලෙස ජයගනිද්දී ගෝල හිමිකරුවා වූයේ බෙකම් ය.
මේ අතර ස්විස්ටර්ලන්තයට එරෙහි තරග පරාජයෙන් පසු මරණ තර්ජන නිසා සිය රට නොයාමට කොලොම්බියා ක්‍රීඩක ජැමින්ටන් කැම්පස්ට සිදුව තිබේ. තරගයේ අතිරේක කාලයේ ගෝලයක් වාර්තා කිරීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් ඔහුගෙන් ගිලිහී ගියේ ය. පසුව දඬුවම් පහර වටයේ දී ඔහු සාර්ථක වුව ද කණ්ඩායමට ඉදිරියට යාමට නොහැකි විය. පරාජය ගැන ඍජු චෝදනාවලට ලක්වූ කැම්පස් මරණ තර්ජන හේතුවෙන් නැවත මව් රටට යාමෙන් වැළකී සිටියේ ය. මීට පෙර 1994 ලෝක කුසලානයේ දී සිදුවූ අත්වැරදීමක් නිසා කොලොම්බියාවේ ඇන්ඩ්‍රෙස් එස්කොබාර්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඔහුගෙන් own goal එකක් වාර්තා වීම කණ්ඩායම් වටයෙන්ම කොලොම්බියාවට තරගාවලියෙන් ඉවත්වීමට බලපෑ ප්‍රධාන කාරණාවක් වූයේ ය. මෙය තරග ගැන ඔට්ටු ඇල්ලූ අය සහ කොලොම්බියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දැඩි කෝපයට හේතුවිය. තරගාවලියෙන් පසු සිය රටේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව වන්දි ගෙවීමට එස්කොබාර්ට සිදුවූයේ ඒ අනුවය. සුන්දර පාපන්දුව පසුපස රැඳී ඇති මෙවැනි අසුන්දර කතා ද රැසකි. මේ අතර මෙවර එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයට පසු ආර්ජන්ටිනා ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කළ බැනරයක් සම්බන්ධව ද ගැටලු හටගෙන තිබේ. “Las Malvinas son Argentinas” ලෙස එහි සඳහන්ව තිබිණ. “මල්වීනාස් දූපත් ආර්ජන්ටිනාවට අයත්” යන්න එහි අරුතයි. මේ දූපත් සම්බන්ධව ආර්ජන්ටිනාව සහ එංගලන්තය අතර ඇත්තේ දිගු කාලීන ගැටුමකි. 1982 දී දින 74 ක යුද්ධයකට හේතු වූයේ ද එයයි. එහිදී ආර්ජන්ටිනා හමුදා යටත් වනතෙක් දෙපාර්ශවයේ ම සිදුවූ ජීවිත හානි 900 ඉක්මවයි. කෙසේ වෙතත් FIFA නීති යටතේ පිටියේ දී දේශපාලන පණිවුඩ බෙදා හැරීම තහනම් නිසා ආර්ජන්ටිනාවට විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇත.
මේ සියලු කරුණු අතරේ මෙවර අවසන් මහා තරගය මේ වනවිටත් අවසන් කණ්ඩායම් ද්විත්වය සේම තවත් කරුණු නිසා දැඩි අවධානයට ලක්ව පවතී. සමාප්ති උළෙල අති උත්කර්ෂවත් ලෙස සංවිධාන කර තිබේ. නිව්යෝර්ක් හි නිව් ජර්සි ක්‍රීඩාංගණය එදිනට විචිත්‍රවත් වනු ඇත. ටොම් කෲස්, ලෝරා පොසීනි, නිකෝල් ශූෂන්ගර්, රොබී විලියම්ස් සහ අයිෂෝ ස්පීඩ් ඉදිරිපත් කිරීම් වෙනුවෙන් සූදානම් ය. ඇමරිකා ජාතික ගීය ගයන්නේ එමී, ග්‍රැමී, ඔස්කාර් සහ ටෝනි සම්මානලාභී ජෙනිෆර් හඩ්සන් ය. ප්‍රථම වතාවට තරගයේ පළමු අර්ධය අවසන මැඩෝනා, ශකීරා, BTS සහ ජස්ටින් බීබර්ගේ ප්‍රසංගයකි.
කවර තරු වේදිකාවේ බැබළුණත් එදින පිටියේ දිදුලන්නේ ආර්ජන්ටිනා සහ ස්පාඤ්ඤ පාපන්දු තරුය. ආර්ජන්ටිනාව ජය ගතහොත් අඛණ්ඩව ලෝක ශූරතාව දෙවතාවක් ලැබූ තෙවන රට බවට ඔවුන් පත්වේ. මීට පෙර එම දක්ෂතාව දක්වා ඇත්තේ බ්‍රසීලය සහ ඉතාලිය පමණි. අනෙක් අතට සිය මහාද්වීපෙයෙන් පිටතදී එම දක්ෂතාව දැක්වූ පළමු රට වීමේ අවස්ථාව ද ආර්ජන්ටිනාවට තිබේ. මේ දක්වා පාපන්දු ලෝක කුසලානය දිනූ රටවල් ගණන 8කි. ඉන් පහක් යුරෝපයේ ය. තුනක් දකුණු ඇමරිකාවේ ය. යුරෝපය දිනූ කුසලාන ගණන 12 කි. දකුණු ඇමරිකාව කුසලාන 10 කට හිමිකම් කියයි. මෙවර ඇත්තේ යුරෝපය සහ දකුණු ඇමරිකාව අතර තරගයකි.
මීට අමතරව ෆිෆා අවසන් මහා තරගයට ළාබාල ක්‍රීඩකයෝ දෙදෙනෙක් සූදානමින් සිටිති. ඒ ස්පාඤ්ඤයේ ලමින් යමාල් සහ පාවු කුබර්සි ය. ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසි ළාබාලතම පස්දෙනා අතර සිටින සෙසු තිදෙනා වන්නේ බ්‍රසීලයේ පේලේ, ඉතාලියේ ජූසප් බෙගෝමි සහ ප්‍රංශයේ කිලියන් ම්බාපේ ය. මේ තිදෙනාම සිය මංගල ලෝක කුසලානයේදී ම ශූරතාව දිනීමට වාසනාවන්ත වූහ. යමාල් සහ කුබර්සිට ඒ වාසනාව හිමිවේවිද? නැතහොත් සිය දෙවන ලෝක කුසලානය කරා යාමට සුපිරි මෙසී සමත් වේවිද? බලා සිටිමු.

