brand logo
logo
බෝල් බ්ලාස්ටර් අවසන් මහා තරගයේ නිමාව උසස් පෙළින් පසු

බෝල් බ්ලාස්ටර් අවසන් මහා තරගයේ නිමාව උසස් පෙළින් පසු

10 November 2025

'බෝල් බ්ලාස්ටර්' අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මරදාන සහිරා සහ හමීඩ් අල් හුසේනි විද්‍යාලය අතර ඊයේ (9 වැනිදා) සුගතදාස පිටියේදී පැවැත්වුණු නමුත් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය විසඳුමකින් තොරව නිමා විය. තරගයේ සම්පූර්ණ කාලය නිම වීම සඳහා ඉතිරිව පැවැති මිනිත්තු 1.5ක පමණ කාලය උසස් පෙළ විභාගයෙන් අනතුරුව පැවැත්වීම සඳහා කණ්ඩායම් දෙක එකඟ වූ බව ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ ලේකම් නාලක දිසානායක 'අරුණ'ට සඳහන් කළේය.


තරගයේ පළමු ගෝලය හමීඩියා කණ්ඩායම විසින් 9වැනි මිනිත්තුවේදි වාර්තා කිරීමට සමත් විය. අනතුරුව සහිරා කණ්ඩායම තරගය සම කිරීමට සමත් විය. කෙසේ වෙතත් හමීඩියා ක්‍රීඩකයෝ නැවත ගෝලයක් වාර්තා කිරීමත් සමග පළමු අර්ධය ගෝල 2-1ක් ලෙස හමීඩියා පිලට පෙරමුණ ලබා දෙමින් නිමා විණි.


දෙවැනි අර්ධයේ 65වැනි මිනිත්තුවේදී කෝනර් පහරක් මගින් ගෝලයක් වාර්තා කරමින් තරගය ගෝල 2-2ක් ලෙස සම කිරීමට සහිරා ක්‍රීඩකයෝ සමත් වූහ. අනතුරුව දිනය නිමා වන තෙක් ගෝලයක් වාර්තා කිරීම සඳහා දෙපිලටම අවස්ථාවක් නොවිණි.


තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී හමීඩියා පිලට නිදහස් පහරක් හිමිවූ අතර එහිදී ආලෝක තත්ත්වය ප්‍රමාණවත් නොවන බවට සහිරා කණ්ඩායමේ ගෝල රකින්නා ප්‍රකාශ කිරීම සමග විනිසුරුවරුන් තරගය නවතා ඇත. වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් උසස් පෙළ විභාගයට මුහුණ දීම හේතුවෙන් තරගය උසස් පෙළ අවසන් වනතෙක් ප්‍රමාද කිරීමට සිදුව ඇත.


මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ඊයේ දහවල් කොළඹ රාජකීය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල් තරග වැදුණු අතර එහිදී ගෝල 3-0ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ගේට්වේ කණ්ඩායම සමත් විය.

 

More News..