Best News Website award
brand logo
logo
මිරිස්සෙන් අයිස් කිලෝ 400කට අධික තොගයක් අල්ලයි

මිරිස්සෙන් අයිස් කිලෝ 400කට අධික තොගයක් අල්ලයි

29 November 2026


ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව ඊයේ (28) පස්වරුවේ මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

 

එහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරුණු උර 17ක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී ඒවායේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බව අනාවරණය වී ඇත. එම මත්ද්‍රව්‍ය තොගය වෙරළ වෙත රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක්ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


මීට අමතරව අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි බවට සැක කෙරෙන වෑන් රථ දෙකක් සමඟ සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් මුළු සැකකරුවන් සංඛ්‍යාව තිදෙනෙකි.


මේ අතර, මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යාත්‍රා 69ක් සිය භාරයට ගෙන ඇත.


එම යාත්‍රා අතරට බහුදින ධීවර යාත්‍රා 11ක්, විදේශීය යාත්‍රා 05ක් සහ වෙනත් යාත්‍රා 53ක් ඇතුළත් වන බව නාවික හමුදාව සඳහන් කරයි. එම මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකිකයින් 368 දෙනෙකු සහ විදේශිකයින් 21 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 389 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය පියවර සඳහා යොමු කර තිබේ.


එමෙන්ම, මෙම වසරේ ගතවූ කාලය තුළ සිදු කළ මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 1,686.887ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,051.33ක්, කොකේන් කිලෝග්‍රෑම් 256.20ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 51.091ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.


'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍යවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 116 ඉක්මවන අතර, ඉන් රුපියල් බිලියන 75කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග මෙම වසර තුළදී පමණක් සිදු කළ නාවික හමුදා මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් නිවේදනය කරයි.

 

More News..