මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයෙකු අත්අඩංගුවට
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයෙකු අත්අඩංගුවට
11 August 2026
බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සපයන බව පැවසෙන බන්ධනාගාර නියාමකවරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බවද සඳහන් වේ.
දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ගල්කිස්ස ප්‍රදේශයේදී පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයෙකු වට්සැප් දුරකථන ඇමතුමක් මගින් ස්ථානයක් පිළිබඳව තොරතුරු ලබා දී ඇති අතර ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
එම මත්ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල වනාත පාරේදී තවත් පුද්ගලයෙකුට ලබා දීමට නියමිත බවත් සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටද ඒ අනුව සැලසුමක් සකස් කර ඇත.
එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු සැකකරු අසලට පැමිණ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී අවට රැක සිටි ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් නියාමකවරයා පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයේ සේවයට පැමිණි අයෙකු බවත් ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවත් සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු වන අතර සැකකරු තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.

