කිරිඳිවැලදී මරා දැමූ ජේසු වසරකට පසු කැලණි ගඟෙන් මතුවුණු හැටි
07 November 2026 | කීර්ති මෙන්ඩිස්
කිරිඳිවැලදී මරා දැමූ ජේසු වසරකට පසු කැලණි ගඟෙන් මතුවුණු හැටි
07 November 2026 | කීර්ති මෙන්ඩිස්
අපරාධයක් සිදුවූ සැණින් එම අපරාධය පැයක් දෙකක් ඇතුළත විසඳීමට ඇතැම් පොලිස් නිලධාරීන්ට හැකියාව ඇතත් තවත් නිලධාරීහු ඒ සඳහා දින සති මාස ගණන් කල්මරති. මේ නිසා සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්ව පොලිස් විමර්ශනවල අකාර්යක්ෂමතාව, නොහැකියාව සහ උදාසීනත්වය කෙරෙහි දක්වන්නේ අසුබවාදී ආකල්පයකි. මේ හේතුන් නිසා ගැටලු රැසකට ඔවුහු මැදිවෙති. ජේසු සේරන්ගේ පවුලේ උදවියට ද පොලිසියෙන් සිදුව තිබුණේ මෙවන් අසාධාරණයකි. ජේසු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ උපන් 24 හැවිරිදි තරුණයකි.
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ ජේසු ඉකුත් 2025 වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා සිට අතුරුදන් වී තිබිණි. එදා පටන් ජේසුගේ සොහොයුරන්, ඥාතීන් ඔහු සොයාගැනීමට හෝ ඔහුට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමට දැඩි උත්සාහයක යෙදුණ ද ඒ කිසිදු උත්සාහයක් සාර්ථක නොවිණි. පොලිස් ස්ථාන කිහිපයකටම ජේසු සොයාදෙන ලෙස පැමිණිලි කළ ද ඒ කිසිවකින් සාධාරණයක් නොවූ තැන ජේසුගේ අතුරුදන්වීම ගැන කාටත් ගෙන දුන්නේ කිසියම් සැකයකි. ඒ ජේසු ඒ වන විටත් ජීවත් වන්නේද නැද්ද යන ගැටලුවට ඔවුන් මැදි වී සිටීම හේතුවෙනි.
‘ගිය අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ 11 වැනිදා තමයි මල්ලි ගෙදරින් ගියේ. ප්‍රියන්තගේ සර්විස් සෙන්ටර් එකට ගිහින් එන්නම් කියලා මගේ පුංචිගේ දුවගේ බයික් එකෙන් තමයි එයා ගියේ. බයික් එක ඕන වුණොත් කෝල් එකක් දෙන්න කියලත් කිව්වා. රෑ 12යි ගාණට එයා කෝල් කරලා කිව්වා මෙහේ පාටියක්. මම ටිකක් බොනවා අද රෑට මම ගෙදර එන්නේ නැහැ. ඔයාලා දොරවහලා නිදාගන්න කියලා.’
ජේසුගේ සොහොයුරිය සිය සොහොයුරාගේ අතුරුදන්වීම ගැන පවසන්නේ එවැන්නකි.
‘පහුවැනිදා පාන්දර 3.45ට විතර කොල්ලෝ කට්ටියක් ඒ පාරේ යනකොට බල්ලෝ බුරන්න පටන් අරගෙන තිබුණලු. ගිය කොල්ලෝ සෙට් එකෙන් එක්කෙනෙක් ගලකින් බල්ලන්ට ගහද්දි ඒ ගල වැදිලා තියෙන්නේ ඔය ප්‍රියන්ත කියන කෙනාගේ සර්විස් සෙන්ටර් එකේ ගේට්ටුවේලු. ඒ වෙලාවේ ප්‍රියන්ත මන්නයකුත් අරන් එළියට ඇවිත් ඒ කොල්ලෝ සෙට් එකත් එක්ක රණ්ඩුවෙලා තියෙනවා. එතකොට එක කොල්ලෙක් ප්‍රියන්තට කියලා තියෙනවා අයියේ මම ජේසු සේරන්ගේ යාළුවෙක්. මම ඔයාවත් දන්නවා කියලා. ඒත් ප්‍රියන්ත ඒ කොල්ලටත් කෑ ගහලා. පස්සේ එක කොල්ලෙක් මල්ලිට කොල් කරලා මෙන්න මෙහෙම ප්‍රියන්ත මන්නයකුත් අරන් ආවා කිව්වම මල්ලි කියලා තියෙනවා මමත් ඉන්නේ සර්විස් එක ඇතුළේ. වරෙන් එතනට කියලා. පස්සේ මල්ලි ඒ කොල්ලෝ සෙට් එකත් එක්ක කතා බස් කරලා එයාලාව යවලා. ආයෙත් සර්විස් සෙන්ටර් එක ඇතුළට ගිහින් තිබුණා. ඒ ගියා ගියාමයි මල්ලි ගැන ඉන්පස්සේ කිසිම තොරතුරක් තිබුණේ නැහැ.’
එදා පටන් ජේසුගේ මව, සොහොයුරු සොහොයුරියන් සහ ඥාතීන් ඔහු සොයාගැනීමට දැඩි වෙහෙසක් ගත්ත ද ඒ කිසිවක් සාර්ථක වී නොතිබිණ.
‘පස්සේ අපි සර්විස් සෙන්ටර් එකට කතා කරලා ඇහැව්වම එයාලා කිව්වා මල්ලි ගෙදර ගියා කියලා. ඒත් මල්ලි ගැන ආරංචියක් නැහැ. අපි දන්න කියන හැම තැනකටම ගියා. මල්ලිගේ ෆෝන් එකත් ඔන් කරලා. පස්සේ අපි ඒ පැත්තේ සීසීටීවී කැමරා බැලුවා මල්ලි ගෙදරින් යන දර්ශන තිබුණට මල්ලි ආයේ ගෙදර එන දර්ශන තිබුණේ නැහැ. අනික මල්ලි අරන් ගිය බයික් එකට වුණු දෙයක් දන්නෙත් නැහැ.’
ජේසු ගැන කිසිදු තොරතුරක් මෙලෙස නොවූ තැන ඔහුගේ සොහොයුරිය 2025 ඔක්තෝබර් 14 වැනිදා සිය සොහොයුරාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
‘දාහත් වැනිදා අපි පොලිසියත් එක්ක මල්ලි පාටි දාපු සර්විස් සෙන්ටර් එකට ගියා. ඒක කඩලා බැලුවා මල්ලි ඉන්නවද නැත්නම් මල්ලිගේ බයික් එකවත් තියෙනවද කියලා. මල්ලිත් නැහැ. බයික් එක තිබුණෙත් නැහැ.’
ජේසු මෙසේ සොයන බවත් ඔහු අතුරුදන්ව ඇති බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් තවත් පිරිසකට දැනගැනීමට ලැබුණේ ඔය අතරය. ඒ සමග ජේසුගේ ඥාතීන්ට මරණ තර්ජන පවා එල්ල විණි.
‘ජේසුව හොයන්න එපා. පොලිසි ගානේ යන්න එපා. එහෙම වුණොත් ජේසුගේ අයියවත් වෙඩි තියලා මරලා දානවා.’
මෙම ඇමතුම් සමග නිවැසියන්ට ද ඇතිවූයේ කිසියම් සැකමුසු බියකි. එහෙත් ජේසු සොයාගැනීමේ උත්සාහය අත්නොහල ඔවුන් ප්‍රදේශය භාර පොලිස් ලොක්කන් ද හමුවී ජේසු සොයාදෙන ලෙස ඉල්ලා සිටියද ඒ කිසිම කෙනකුගෙන් ඔවුන්ට සහනයක් ලැබුණේ නැත. මෙලෙස මාස හයකට ආසන්න කාලයක් ගතවිය. ඒ කාලය තුළ ඔවුහු නොගිය තැනක් නැති තරම්ය. පොලිසියෙන් සහනයක් නොලැබෙන තැන කෝවිල් දේවාලවලට යමින් ජේසු සොයාදෙන ලෙස දෙවියන්ට පවා කන්නලව් කළහ. බැරිම තැන ජනාධිපති කාර්යාලය අසලට ද ගොස් ජේසු සොයාදෙන ලෙස බලධාරීන්ට කීවේය. එහෙත් ඒ කිසිදු උත්සාහයකින් ඵලක් නොවීය. අවසානයේ ජාතික පොලිස් කොමිෂන් සභාවට ද මේ ගැන කියමින් ගිය මොවුහු එහි උපදෙස් මත පොලිස්පති සහන මැදිරියට ද ගියහ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජේසු අතුරුදන්වීමේ පැමිණිල්ල බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදෙනුයේ ඉන් අනතුරුවය. ඒ, 2026 අප්‍රේල් මස 21 වැනිදාය. පොලිසි කිහිපයකට විසඳීමට නොහැකි වූ ජේසු අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධ විමර්ශනය නැවත ඇරැඹෙන්නේ එතැන් පටන්ය. එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීරගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් විමර්ශන සඳහා එක් කෙරුණේ ඉන් පසුවය. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනුයේ ඒ සමගය. මෙලෙස ජේසුට සිදුවූ දේ සොයා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබාගත් නිලධාරීහු ඉන් අනතුරුව ජේසුගේ මව, සොහොයුරිය ඇතුළු ඥාතීන්ගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගත්හ.
එම ප්‍රකාශවලින් පසු නිලධාරීන් ගොස් තිබුණේ ජේසු අවසන් වරට ගියබව කියන කම්බිකොටුවත්තේ පිහිටි සර්විස් සෙන්ටරය වෙතය. එහෙත් එහි කිසිවකු නොවීය. එහි හිමිකරු ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවූයේ නැත. දිගින් දිගටම කරුණු කාරණා විමසමින් විමර්ශන සිදුකෙරෙද් දී ජේසු අවසන් වරට සර්විස් සෙන්ටරයට ගියදා සේදවත්තේ තරුණයන් සමග ඇති වූ ගැටුම ගැන අවධානය යොමුකළ නිලධාරීන් ඔවුන් සොයාගොස් ඔවුන්ගෙන් ද ප්‍රශ්නකොට ප්‍රකාශ සටහන් කර ගත්තහ.
‘අපි එනකොටත් එතැන හයදෙනෙක් විතර හිටියා සර්.’
එම හයදෙනා හඳුනාගැනීමට නිලධාරීන් උත්සාහ ගත්තේ ඉන් පසුවය. ඉන් දෙදෙනකු ඒ වනවිටත් ආගිය අතක් නැතිව තිබිණි. ඔවුන් දෙදෙනා කෙරෙහි වැඩි සැකයක් ඇති කරගත් නිලධාරීන් ඔවුන්ගේ දුරකථන හරහා විමර්ශනයක් කළ ද ඔවුන් කිසිදු දුරකථනයක් භාවිත නොකරමින් සැඟව සිටින බව නිලධාරීන්ට ඒත්තු ගියේය. එය විමර්ශනයට විශාල බාධාවක් විය. මේ අතර මොවුන් රටින් පැනයෑමට ඇති ඉඩකඩ අහුරාලමින් විදෙස් ගමන් තහනමක්ද ගනු ලැබිණි.
‘අපි ඔය අතරේ දිගින් දිගටම මේ දෙන්නා හැංගිලා ඉන්න තැන් හෙව්වා. ඔය අතරේ දී තමයි අපිට තොරතුරක් එන්නේ සර්විස් සෙන්ටර් එකේ අයිතිකරු රටින් පැනලා එංගලන්තයට ගිහින් කියලා. මිනිහා එංගලන්තයේ ටැලිෆෝන් අංකයකින් යාළුවකුට කතා කරලා ඒ බව කියලා තිබුණා. මාව ජේසුගේ කේස් එකට පටලවන්න හදනවා. ඒ නිසා මම එංගලන්තයට ආවා කියලා. පස්සේ අපි ඒ නොම්මරේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. එතැනදී අපිට තේරුණා මේ පුද්ගලයා එංගලන්තයට ගිහින් නැහැ කොහේ හරි හැංගිලා ඉඳලා එංගලන්තයට ගිය බවක් පෙන්නනවා කියලා. එතැන් පටන් අපි මිනිහව හොයන්න ලොකු ට්‍රයි එකක් දුන්නා.’
විමර්ශනය සම්බන්ධයෙන් කළ විමසීමේ දී නිලධාරියෙක් කීවේය. කෙසේ වෙතත් සැකකරුවන් දෙදෙනා රැඳී සිටින ස්ථානය ගැන කිසිදු තොරතුරක් සොයාගැනීමට නිලධාරීන්ට හැකිවූයේ නැත. ඒ ඔවුන් කිසිදු ජංගම දුරකථනයක් භාවිත නොකිරීම නිසාය. මෙලෙස මාස හතරක් පහක්ම ගෙවී ගියේය. කෙතරම් බාධක පැන නැගුණ ද ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් ඇතුළු කණ්ඩායම සැකකරුවන් සොයා ගැනීමේ උත්සාහය අතහැරියේ නැත. අවසානයේ මොවුන් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පැතුවේය.
මේ තර ජේසුගේ අතුරුදන්වීම වූ දා වාහන අලුත් වැඩියා කිරීමේ ස්ථානයට පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළේය. ඔවුන් ජේසුට වූ දේ දැක නැතත් සිද්ධිය වූ උපන්දින සාදයදා ඔවුන් ද එම ස්ථානයට පැමිණ තිබිණි. නිලධාරීන් ඔවුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පසුපස පන්නන්නට විය. මෙලෙස මාස හත අටක් තිස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු පොලිස් කණ්ඩායම කරන ලද උපක්‍රමශීලී ක්‍රියාවකට අනුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන සර්විස් සෙන්ටරය හිමිකරු වත්තල, මාබෝල ප්‍රදේශයට ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබිණි. තමන් මාබෝල ප්‍රදේශයට යන්නේ පොලිසියේ උගුලකට බව නොදත් ඔහු මාබෝලේ දී අත්අඩංගුවට ගැනෙන අතර ඔහුගෙන් දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මෙතෙක්කල් සැඟව සිටි ඔහුගේ මිතුරා ද කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකිවිණි.
‘මොකද උඹලා ජේසුට කළේ.’
ප්‍රශ්න කිරීම වේගවත් විය. නිරුත්තර වූ ඔවුන්ගෙන් උපක්රමශීලීව සත්‍ය දැනගැනීමට නිලධාරීන් ක්‍රියා කරද්දී හෙළිවන්නේ ජේසුට පහරදී මරා පුලුස්සා ඔහුගේ ඇට කැබලි පවා කැලණි ගඟට දැමූ බවය. ඔවුන්ගේ ප්‍රකාශවලින් නිලධාරීන් පුදුමයට පත්විණි. ඒ අනුව හෙළිවන්නේ මෙවැන්නකි.
ජේසු එදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිකොටුවවත්ත ප්‍රදේශයේ වාහන අලුත් වැඩියාකරන ස්ථානයට ගොස් ඇත්තේ එහි හිමිකරුගේ උපන්දින සාදයට සහභාගිවීමේ අරමුණෙනි. ඒ අතරේ මධ්‍යම රාත්‍රියේ දී එම ස්ථානය අසලින් ගමන්ගන්නා සේදවත්ත ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග එහි හිමිකරු ගැටුමක් ඇතිකරගෙන තිබිණි. ඒ එම අවස්ථාවේ සුනඛයන්ගේ බිරීමක් නතර කරලීම සඳහා එල්ල වූ ගල් පහරක් වාහන සර්විස් ආයතනයේ ගේට්ටුවට වැදීම හේතුවෙනි. පසුව එම පිරිස ජේසුගේ සේදවත්තේම මිතුරන්වීම මත ඔවුන් සර්විස් සෙන්ටරයට පැමිණියේ මන්දැයි කියමින් එහි හිමිකරු ඇතුළු අනෙකා ජේසු සමග ආරවුලක් ඇතිකරගෙන තිබිණි. ඒ, එම තරුණ පිරිස පිටත්වී යෑමෙන් පසුවය.
‘මොකටද උඹ මෙතනට ආවේ. ඇත්ත කියපන්. උන්ව උඹ මෙතනට ගෙන්නුවා නේද?’
එසේ පවසමින් උපන්දින සාදයේ මත්පැන් බොමින් සිටි දෙතුන් දෙනා එළිවෙනතුරු බීමතින් සිටි ජේසුට දිගින් දිගටම පහරදී ඇත. අලුයම කාලයේ දී එම පහරදීම හේතුවෙන් ඔහුගේ නාසය ද කැඩී ගොස් තිබූ අතර ඉන් අධික ලෙස රුධිරය වහනය වන්නට ද පටන් ගෙන තිබිණි.
‘පස්සේ මේ කට්ටිය පහුවැනිදා උදේත් මෙයාට ගහලා තියෙනවා. නකල්ස් එකකිනුත් ගහලා තියෙනවා. කටට රෙදි කෑලිත් ඔබලා ගහලා තියෙනවා. කොහොම හරි මෙහෙම ගහනකොට හුස්ම ගන්න බැරිව ජේසු මැරිලා.’
විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.
පසුදා උදෑසන වනවිට පිරිසගේ වෙරි හිඳී තිබිණි. ඒ වනවිටත් ජේසු අවසන් හුස්ම හෙළා අවසන්ය. දැන් කළ යුත්තේ කුමක්දැයි ඔවුන් තීරණය කරනුයේ ඉන්පසුවය. මියගොස් සිටි ජේසුගේ සිරුර නිල් පැහැති ටෙන්ට් රෙද්දකින් ඔතන ඝාතකයන් විසින් එය එතැන තිබූ කැබ් රියට පටවා ගන්නා ලදි.
‘මුගේ බයික් එක මෙතැන තිබ්බොත් ලෙඩක්. ඒ නිසා මේකත් ඕකටම දාගමු.’
එකෙකුගේ උපදෙස් මත ජේසු පැමිණි යතුරුපැදිය ද හයිලූක්ස් කැබ් රියට පැටවිණි. ඒ, එහි කොටස් එකිනෙකට ගලවා දැමීමෙන් අනතුරුවය. ඒ අතරතුර දී එම ස්ථානයේ සිටි අයකු සිය මෝටර් රියෙන් පිටව ගොස් තිබූ අතර, තවත් කළු පැහැති හොන්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයක් ද එම ස්ථානයේ ගාල්කර තිබිණි.
ජේසුගේ මළසිරුර කැබ් රියට දමාගැනීමෙන් අනතුරුව එම ස්ථානයේ විසිරී තිබූ රුධිරය ඝාතකයන් විසින් සෝදා දමා තිබේ. අනතුරුව එක් අයකු කැබ් රියට ගොඩවෙන අතර, අනෙකා එතැන තිබූ හොන්ඩා වර්ගයේ මෝටර් රියට ගොඩවී ජේසුගේ මළසිරුර රැගෙන යනුයේ කිරිඳිවැල ප්‍රදේශයේ ජල කර්මාන්ත ශාලාවක් අසලටය. ඒ වනවිට රාත්‍රිය උදාවෙමින් තිබිණි. ඝාතකයන්ගේ සැලසුම වූයේ කිසිවකුට නොපෙනෙන ලෙස ජේසු සේරන්ගේ සිරුර ගිනි තබා පුලුස්සා දැමීමය.
‘දැන් මේකට ගිනි තිබ්බොත් අහල පහල උන්ට පේන්න පුළුවන්. ඒ නිසා අද මේක මෙතැන දාලා හෙට උදේ ඇවිත් වැඩේ කරමු.’
‘එතකොට අද අපි මොනවද කරන්නේ?’
‘මගේ යාළුවෙක් ඉන්නවා අවිස්සාවේල්ලේ. කැබ් එක මෙතැන දාලා උඹේ කාර් එකේ අවිස්සාවේල්ලට යමු.’
අනතුරුව ඝාතකයන් දෙදෙනා හොන්ඩා ෆිට් රථයෙන් අවිස්සාවේල්ලට ගොස් එදින රාත්‍රිය මිතුරකුගේ නිවසේ ගතකර තිබේ.
‘මම මල්ලිව ගෙන්නගෙන මගේ කාර් එක යවන්නම්. හෙට උදේට වෙන වාහනයකින් අපි කැබ් එක දාපු තැනට යමු.’
ඒ අනුව පසුදා උදෑසන වෙන්නප්පුවේ සිට පැමිණෙන පුද්ගලයකුට හොන්ඩා ෆිට් රථය භාරදෙන ඝාතකයන් වෙනත් වාහනයකින් යළි කිරිඳිවැලට පැමිණෙන්නේ ජේසුගේ මළසිරුර ගිනි තබා විනාශ කරලීමේ අදහසිනි. ඒ එන අතරමගදී පරණ ටයර් කිහිපයක් සහ පෙට්‍රල් කෑන් එකක් මිල දී ගැනීමට ඔවුන් අමතක කර නොතිබිණි.
ඒ, 2025 ඔක්තෝබර් 14 වැනිදාය. උදෑසන හයට පමණ කිරිඳිවැල කර්මාන්ත ශාලාව පිටුපස පාළු ප්‍රදේශයකට පැමිණෙන මොවුන් කැබ් රියේ තිබූ ජේසුගේ සිරුර බිමට ඇද දමා ටයර් ද ඔහුගේ සිරුර උඩට දමා ඊට ගිනි තබන්නේය.
‘මේක උඩටම බයික් එකේ කෑලි ටිකත් දාමු.’
ඒ අනුව යතුරුපැදියේ කොටස් ද ගින්නට එක්කාසු කිරීමට ඝාතකයන් විසින් කටයුතු කරන ලදි. කෙසේ වෙතත් ගින්න එතරම් සාර්ථකව දැල් නොවුණු අතර ඒ බව වටහාගන්නා ඝාතකයන් ගින්න තව තවත් අවුළුවා ගැනීම සඳහා ඊට යළි යළිත් පෙට්‍රල් වත්කළ ද ඔවුන්ගේ සිතට එය ප්‍රමාණවත් වන්නේ නැත.
‘මේක හරියට පත්තු වෙන්නේ නැහැනේ. බාගෙට දාලා ගියොත් සේරම මාට්ටු.’
කෙසේ වෙතත් උදෑසන හයට ඇරැඹුණු ගිනි තැබීම එදින රාත්‍රිය උදාවන තුරුම සිදුකෙරුණද එය ඝාතකයන් සිතූ පරිදි සිදුනොවීය. ඒ, යතුරුපැදියේ කොටස් මෙන්ම ජේසුගේ සිරුරේ කැබලි ද බොහොමයක් ඉතිරිවීම නිසාය.
‘දැන් මෙතැන අපි ඉන්න එක හොඳ නැහැ. මේවත් අරගෙන මෙතැනින් යමු.’
ඒ අනුව පිලිස්සී ගිය අස්ථි කොටස් මෙන්ම ඉතිරි වූ යතුරුපැදියේ කොටස් ද කැබ් රියට දමා ගන්නා මොවුන් පිලිස්සී ගිය පස්ද ගෙනෙන ලද බාල්දියකට එක්කාසු කර තිබිණි.
‘මේවා ඔය කොහෙන් හරි ගඟට දාමු. එතකොට වැඩේ ඉවරයි.’
සියලු කොටස් කැබ් රියට දමා ගන්නා ඔවුහු එම රාත්‍රියේම කිරිඳිවැලින් පිටව කැබ් රිය කොස්ගම දෙසට ධාවනය කරන්නට වූහ. ඒ, අස්ථි කොටස් ගඟට දැමීමේ අදහසින්ය. ටික දුරක් යද්දී කොස්ගම, ඇස්වත්ත පාලම ඔවුන්ට දිස්විය. ඒ වනවිටත් මුළු ප්‍රදේශයම අඳුරෙන් වෙළාගෙන තිබුණේය. එය ඝාතකයන්ට අරමුණ ඉටු කරගන්නට කදිම පහසුවක් ගෙන දුන්නේය.
‘මෙතැනින් දාමු.’
කැබ් රිය ඇස්වත්ත පාලම අසල නතර කළ ඔවුහු එහි තිබූ ජේසුගේ සිරුරු කොටස් සහ පිලිස්සී ගිය යතුරුපැදියේ කොටස් කැලණි ගඟට විසිකර දැමූහ. පස් පිරවූ පනිට්ටුවද ගඟට දැමීමට ඔවුහු අමතක නොකළහ.
‘තව බයිසිකලේ කෑලි ටිකක් තියෙනවානේ. ඒවට මොකද කරන්නේ?’
‘ඒවා ගඟට දැම්මොත් මාට්ටු වෙන්න පුළුවන්. ඒවා කාට හරි දෙමු.’
නිලධාරීන් ජේසුට සහ ඔහුගේ යතුරුපැදියට ඝාතකයන් කළ දේ සියල්ල මෙලෙස හෙළිකර ගත්තේය. එහෙත් ප්‍රශ්න කිරීම අවසන් නොවීය.
‘හරි. ඉන් පස්සේ උඹලා කොහේද ගියේ?’
නිලධාරීහු සැකකරුවන්ගෙන් විමසන්නට වූහ.
‘අපි දැනගත්තා ජේසුගේ ගෙදර අය එයාව හොයනවා කියලා. පොලිසි ගිහින් කියලත්. අපි ගියොත් පොලිසියට මාට්ටු වෙයි කියලා හිතුවා. ඒ නිසා අපි තැන් තැන්වල හැංගිලා හිටියා සර්.’
ඒ අනුව හෙළිවන්නේ ජේසු මරාදමා ඔහුගේ සිරුරේ කොටස් සහ යතුරුපැදි කොටස් කැලණි ගඟට දැමීමෙන් අනතුරුව මොවුන් කෙළින්ම ගොස් ඇත්තේ මත්තල ප්‍රදේශයට බවය. එදින රාත්‍රියේ ඔවුන් ගතකර ඇත්තේ එම ප්‍රදේශයේ හෝටලයකය. ඉන් අනතුරුව පසුදා කැබ් රියෙන් යළි කතරගම ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට යන මොවුන් යතුරුපැදියේ ඉතිරි කොටස් මිතුරකුට ලබා දී ඇත.
‘මේ බයික් එක මට උකස් කරපු එකා ඒක බේරගන්න ආවේ නැහැ. පස්සේ මම මේක කෑලිවලට ගැලෙව්වා.’
එසේ මිතුරාට කී එක් සැකකරුවකු යතුරුපැදි කොටස් ඔහුට ලබාදී එම නිවසේ ද රාත්‍රියක් ගතකොට පසුදා කැබ් රියෙන්ම නුවරඑළිය බලා පිටත්ව ගොස් තිබිණි.
මෙලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟවෙමින් වසරකට ආසන්න කාලයක් ගතකළ මොවුන්ගෙන් ප්‍රධාන සැකකරු තමා විදෙස්ගතව සිටින බවට උත්සාහ කිරීම සඳහා වෙනත් තාක්ෂණ ක්‍රමවේදයක් උපයෝගී කරගෙන එක්සත් රාජධානියේ දුරකථන අංකයකින් ඔහුගේ මිතුරන් අමතා තිබුණේය. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් මාස හතකට වැඩි කාලයක් සැකකරුවන් දෙදෙනා පසුපස විමර්ශනය කිරීමෙන් අනතුරුව ඉකුත් දා උපක්රමශීලීව මොවුන් කොටුකර ගැනීමට හැකියාව ලැබිණි. ඉන් අනතුරුව මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු කතරගම ප්‍රදේශයේ මිතුරකුට ලබාදී තිබූ ජේසුගේ යතුරුපැදියේ කොටස් ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.
විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අවිස්සාවේල්ල වැඩබලන මහෙස්ත්රාත්වරියගේ පූර්ණ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් කැලණි ගඟේ ඇස්වත්ත පාලම අසලින් බැස ගඟට දැමූ බව කියන ජේසුගේ අස්ථි කොටස් සොයා ගැනීමට පියවර ගන්නා ලදි.
කෙසේ වෙතත් ජේසු ඝාතනය කිරීමට හේතු වූ කරුණු තවමත් නිශ්චිත ලෙස හෙළිදරව් වී නැත. ජේසුට ද මීටපෙර පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බව ද සඳහන්ය. මෙම ඝාතනය මුදල් ආරවුලක් මත සිදුවූයේද යන සැකය මත ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වේ. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට ද නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි, පොලිස් අධිකාරී ඉසුරු නිශාන්ත යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීරගේ උපදෙසින් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ ප්රමුඛ කොස්තාපල්වරුන් වූ ප්‍රියරංජන (73198), උදයංග (3122), වැලිවිට (91826), මහආරච්චි (104139), බුද්ධික (39178), රාජපක්ෂ (12105), හේරත් (88139) සහ කොස්තාපල් රියැදුරු නුවන් (105583) යන නිලධාරීහු මෙම විමර්ශනයට එක්ව සිටියහ.

