නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
17 November 2026
නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
17 November 2026
නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා තිබේ.
නොවැම්බර් 15 වැනිදාට යෙදෙන ලෝක නොමේරූ ළදරු දිනයට සමගාමීව මෙම මාර්ගෝපදේශ මාලාව එළිදක්වා ඇත.
ශ්‍රී ලංකා පරිජන්ම සංගමය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය සහ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සමාජ අවබෝධය පුළුල් කිරීම මෙන්ම එම දරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සත්කාර සේවාවන්හි වැදගත්කම අවධාරණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ, නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් සෞඛ්‍ය සේවාවේ වගකීම අවසන් නොවන බවය.
එම දරුවාගේ ඉදිරි ජීවිතය නිරෝගීව හා සාමාන්‍ය වර්ධනයක් සහිතව ගොඩනැංවීම සඳහා අඛණ්ඩ පසු විපරම් සහ සත්කාර සේවා අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන්ම නවජාත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන නොමේරූ ළදරුවන් සම්බන්ධයෙන් ඉන් අනතුරුව ද අඛණ්ඩ අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නිසි පසු විපරම් සහ සංවර්ධන සත්කාර නොලැබීම හේතුවෙන් එම දරුවන්ගේ වර්ධනයට මෙන්ම පෙනීම සහ ශ්වසන ක්‍රියාකාරීත්වය ඇතුළු සෞඛ්‍ය තත්ත්වයන්ට ද ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
මාතෘ හා නවජාත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්රමුඛ අවධානයක් යොමු වී ඇති ක්ෂේත්රයක් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
අධි අවදානම් ගැබ්ගැනීම් කළමනාකරණය කිරීමේ සිට නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවර ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
එමෙන්ම නොමේරූ ළදරුවන්ට අවශ්‍ය සත්කාර හා රැකවරණය සැලසීම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පමණක් වගකීමක් ලෙස සැලකිය නොහැකි බවත්, ඒ සඳහා වෘත්තීය සංගම්, පෞද්ගලික අංශය සහ අනුග්‍රාහක පාර්ශ්වයන්ගේ ශක්තිමත් සහයෝගීතාව ද අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සෑම නොමේරූ ළදරුවකුටම ජීවිතයේ උපරිම හැකියාවන් කරා ළඟාවීමට අවශ්‍ය රැකවරණය සහ අවස්ථා හිමිවිය යුතු බවත්, ඒ වෙනුවෙන් සාමූහික වගකීමකින් කටයුතු කිරීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ විද්වත් කතිකාවක් ද මෙහිදී පැවැත්විණි.
මෙරට සිදුවන සමස්ත දරු උපත්වලින් ආසන්න වශයෙන් සියයට 10ක් නොමේරූ දරු උපත් බව දත්ත මගින් පෙන්වා දෙයි.
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ නොමේරූ ලෙස උපත ලබන ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ඉහළ ගොස් තිබුණ ද, ඔවුන්ගේ සෞඛ්‍යය හා වර්ධනය අඛණ්ඩව තහවුරු කිරීම සඳහා නිසි වෛද්‍ය සත්කාර සහ දිගුකාලීන පසු විපරම් සේවා අත්‍යවශ්‍ය වේ.
එමඟින් නොමේරූ උපත් හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට මෙන්ම පවුල් සහ සමස්ත සමාජය මත ඇතිවන දිගුකාලීන සමාජීය හා ආර්ථික බලපෑම් අවම කරගැනීමට ද හැකියාව ලැබේ.


