brand logo
පිණ්ඩපාතේ එන මුවාවෙන් දැරියක් අපයෝජනය කරලා

පිණ්ඩපාතේ එන මුවාවෙන් දැරියක් අපයෝජනය කරලා

3 months ago | මිහිසර රශ්වින්ද-මාරවිල

Share on

ආණමඩුව කාවන්තිස්සගම ප්‍රදේශයේ 79 හැවිරිදි චීවරධාරියකු පිණ්ඩපාතයේ එන මුවාවෙන් නිවසකට පැමිණ අට හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට ආණමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ආණමඩුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය චීවරධාරියකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.


මෙලෙස ලිංගික අපයෝජනයට ලක්වී ඇත්තේ පාසල් දැරියකි. මෙම දැරියට අවුරුදු 6 හා 3 ක් වයසැති නැගණියන් දෙදෙනකු සිටින බවද සඳහන්ය. නිවස ආසන්නයේ රජයේ කාර්යාලයක සේවය කරන දැරියගේ මව පෙරේදා (13) උදෑසන රැකියාවට පිටත්ව ගොස් ඇති බවත් දැරියගේ පියාද එදින උදේ 8 ට පමණ නිවසින් බැහැරට ගොස් ඇත.


නිවසේ දැරියන් තිදෙනා පමණක් රැඳී සිටි එම අවස්ථාවේ මෙම චීවරධාරියා පැමිණ ඇති බවත් එහිදී දැරිය පුටුවක් රැගෙන විත් නිවස ඉදිරිපිට තබා ඇති බවත් පොලිසිය පවසයි. එහෙත් මෙම චීවරධාරියා නිවෙසට ඇතුළු වී චාටු බස් කියමින් දැරිය ළඟට ගෙන්වා රහස් ප්‍රදේශය පිරිමැදි බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබේ.


සැකකාර චීවරධාරියා අධික ලෙස මත්පැන් පානය කරන්නකු බවත් එම සිදුවීම වන විටද මත්පැන් දුගඳක් හැමූ බව දැරිය කියා තිබේ.


මෙම චීවරධාරියා මීට මාස කිහිපයකට පෙර එම දේවාලයට පැමිණ ඇති බවත් දේවාලයේ භාරකාර මණ්ඩලයේ අනුදැනුම මත එහි නැවතී වී ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.


සිද්ධියට මුහුණ දුන් දැරිය ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් චීවරධාරියා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


සිද්ධිය සම්බන්ධව ආණමඩුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හේමන්ත නන්ද බණ්ඩාර,කාන්තා හා ළමා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන් 1538 චන්දිමා ඇතුළු නිලධාරිහු පිරිසක් විමර්ශන සිදු කරති.

You may also like