brand logo
logo
මං හොයපු ප්‍රේමය ගයාන්ගෙන් හම්බවුණා - පූජනී භාග්‍යා

මං හොයපු ප්‍රේමය ගයාන්ගෙන් හම්බවුණා - පූජනී භාග්‍යා

29 September 2026 | ලක්ෂාන් ජයසූරිය


ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ පූජනී භාග්‍යාව මේ දිනවල තිරගතවන මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය හරහා රිදී තිරයෙන් දකින්න පුළුවන්. ටෙලි නාට්‍යවල ඉඳන් රිදී තිරයේ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයෝ අතරට පැමිණීම ගැන අපි ඇයට කතා කළා.


පූජනී රංගන ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?


මේ වෙද්දි මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 14 ක් වෙනවා. මුලින්ම මම රංගන ක්ෂේත්‍රයට ආවෙ වී. සිවදාසන් මහත්තයා අධ්‍යක්ෂණය කළ දරුවනේ චිත්‍රපටයේ ළමා නිළියක් විදිහට. ඒ වෙද්දි මට අවුරුදු 12 ක් විතර ඇති. එතනින් පස්සෙ වයස අවුරුදු 17 දී ටෙලි නාට්‍ය කීපයක රඟපෑවා. නමුත් 2018 වසරේ හිරු ටී.වී අවුරුදු කුමරිය කිරුළ මම ජයග්‍රහණය කිරීමත් එක්කයි නිළියක් විදිහට මාව හැමෝම අතරෙ ප්‍රසිද්ධ වුණේ.


රංගන ශිල්පිනියක් නෙවුණා නම් මොන විදිහෙ වෘත්තියක් කරයිද?


වයස අවුරුදු 17 දී විතර මට තිබුණ හීනයක් තමයි ගුවන් හමුදාවට බැඳිලා ගුවන් නියමුවරියක් වෙන්න. හැබැයි ඉතින් රංගන ක්ෂේත්‍රයට එන්නයි මගේ ජීවිතයේ පසුබිම සකස්වුණේ. මම දැන් ගෙවන නිදහස් ජීවන රටාවත් එක්ක මට හිතෙනවා මිලිටරි රැකියාවක් මට ගැළපෙන්නෙ නැහැ⁣ කියලා. ඒ නිසා ගුවන් හමුදාවට සම්බන්ධ වීමේ හීනය සැබෑ නොවීම ගැන මට පසුතැවීමක් නැහැ⁣.


මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයෙන් මේ දවස්වල පූජනීව දකින්න පුළුවන් නේද?


මම රංගනයෙන් දායකවන තුන්වෙනි චිත්‍රපටය තමයි තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ මං හොයන්නේ ප්‍රේමයක්. මීට කලින් දරුවනේ චිත්‍රපටයෙන් සහ ගුත්තිල චිත්‍රපටයේ අතිරේක චරිතවලින් මම සිනමාවෙ රඟපාලා තියනවා. හැබැයි ප්‍රධාන චරිතයකින් සිනමාවට ආවෙ මං හොයන්නේ ප්‍රේමයක් තුළින්.


පූජනී, මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේ කවුද?


දර්ශන් තවරාජා අයියගේ නංගි විදිහ⁣ටයි මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේදි මම රඟපාන්නෙ. පූජනී කියන මගේ ඇත්ත නමම තමයි මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේදි මගේ නම වෙලා තියෙන්නෙ. පූජනී කියන නම වැඩිය කාටවත් නැති නිසා රංගන ක්ෂේත්‍රයට ආපු දවසෙ ඉඳලා මම කැමැත්නේ හිටියා මේ නමින් චරිතයක් රඟපාන්න. මං හොයන්නේ ප්‍රේමයක් තුළන් මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා.


දර්ශන් එක්ක රඟපාපු අත්දැකීම කොහොමද?


දර්ශන් අයියාට තියෙන්නෙ වෙනස්ම රංගන පෞරුෂයක්. ඉතින් එයාගේ රංගන ශෛලියයි මගේ රංගන ශෛලියයි එකතු කරලා ලස්සන අයියා නංගි සුසංයෝගයක් අපිට සිනමාවෙ ගොඩනගන්න පුළුවන් වුණා. දර්ශන් අයියයි මමයි මේ විදිහට එකට රඟපාන්නෙ පළවෙනි වතාවට.


කාලයක් තිස්සෙ ටෙලි නාට්‍යවල විතරක් රඟපාපු පූජනීව, ප්‍රේක්ෂකයො සිනමාවෙන් භාර අරගෙන තියනවද?


ටෙලි නාට්‍යවල රඟපෑවට වඩා වෙනස් ආකාරයේ රංගන පරාසයකිනුයි මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේදි මම රඟපාන්නෙ. ඒ නිසා මාව සිනමාවෙන් ප්‍රේක්ෂකයො භාර අරගෙන තියනවා කියලා ලැබෙන ප්‍රතිචාරවලින් මට තේරෙනවා. මං හොයන්නේ ප්‍රේමයක් අධ්‍යක්ෂ තිළිණ අයියා මාව විතරක් නෙමෙයි මං හොයන්නෙ ප්‍රේමයෙදි වෙනස් කරලා තියෙන්නෙ. මේ තාක් දුෂ්ට චරිත රඟපාපු දර්ශන් අයියව මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයෙන් ප්‍රේමවන්තයා වෙලා තියනවා. සිනමාවෙ අතීතකාමි චරිත කරපු අභිලාෂිව වර්තමාන යුගයේ ආදරවන්තිය කරලා තියනවා. නිවුණු තැන්පත් චරිතවලින් දැකලා පුරුදු නිල්මිණි තෙන්නකෝන් අක්කව night club හිමිකාරිනියකගේ චරිතයකින් ප්‍රේක්ෂකයො අතරට ගෙනත් තියනවා.


මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේදි පූජනී ප්‍රේමය හොයන්නේ නැද්ද?


මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේදි මමත් ප්‍රේමය හොයනවා. විවිධ හැලහැප්පීම් කම්කටොලු මැදයි මම ප්‍රේමය හොයන්නෙ. මං හොයන ආදරේ හම්බුණාද කියලා බලන්න රසිකයන්ට මම ආරාධනා කරනවා මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය නරඹන්න කියලා.


සැබෑ ජීවිතයේදි හොයපු ප්‍රේමය නම් මේ වෙද්දි පූජනීට හම්බවෙලා තියනවා නේද?


ඔව්. සැබෑ ජීවිතයේදි මම හොයපු ප්‍රේමය ගයාන්ගෙන් මට හම්බවුණා. ⁣ලබන ජනවාරි 30 වෙනිදට අපේ විවාහ ජීවිතයට වසර දෙකක් වෙනවා. මේ තාක් සතුටෙන් ජීවත් වුණා වගේම හැමදේම ගළපගෙන ඉදිරියටත් සතුටින් ජීවත්වෙන්නයි අපේ බලාපොරොත්තුව.


ප්‍රේමවන්තයො වෙලා හිටපු කාලෙ තිබුණ ආදරයම විවාහ ජීවිතය තුළ ගයාන්ගෙන් විඳින්න පුළුවන්වෙලා තියනවද?


ගයාන් හොඳ ප්‍රේමවන්තයකුට වඩා හොඳ සැමියෙක් කියලයි මම හිතන්නෙ. ⁣ආදරය කරපු කාලෙදි නොදැනුවත්කම නිසා ගයාන්ට මගහැරුණු දේවල්, අමතක කරපු දේවල් සහ පසුතැවිලිවලට ලක්වුණ දේවල් තියනවා. හැබැයි විවාහවෙලා පවුල් ජීවිතය ගතකරන්න පටන්ගත්තට පස්සෙ ඊට හාත්පසින්ම වෙනස් පරිපූර්ණ ආදරයක් ගයාන්ගෙන් මට ලැබෙනවා. ඉතින් ගයාන් මට හොඳ ප්‍රේමවන්තයෙක්ට වඩා හොඳ සැමියෙක් වෙලා තියනවා කියලා මම විශ්වාස කරනවා. 

 

More News..