brand logo
logo
මෙතෙක් ලැබී ඇති වැසි තත්ත්වය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

මෙතෙක් ලැබී ඇති වැසි තත්ත්වය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

26 October 2026


දිවයින පුරා ජලාශ ආශ්‍රිතව මෙතෙක් ලැබී ඇති වර්ෂාපතනය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කළද ගංවතුර තත්ත්වයක් දක්වා මෙතෙක් වර්ධනය වී නොමැති බවය.


පැවති වර්ෂාපතනය හමුවේ කළු ගඟෙහි ජල මට්ටම සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයිද එය විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බවත් පැවසූ ඒ මහතා කැලණි ගඟෙහිද ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයිද සඳහන් කළේය.


මීට අමතරව අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල විශාල වර්ෂාපතන තත්ත්වයන් දක්නට ලැබෙන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව මේ වන විට දැදුරු ඔය සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇතැයිද පැවසීය.


කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ වාර්තා අනුව සහ ලැබෙන වර්ෂාපතන තත්ත්වයන් හමුවේ ජලාශවල ජල මට්ටම් සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේවන්තුව නිරීක්ෂණය කරන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව ඉදිරි පියවරයන් සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා,


"කළු ගඟ බොහෝ ස්ථානවල මිලිමීටර් 50-75ත් අතර වර්ෂාපතනයන් දකින්නට තියෙනවා. අනෙකුත් ගංගාද්‍රෝණිවල විශාල වර්ෂාපතනයන් නැතත් මිලිමීටර් 50ට අඩු වර්ෂාපතනයන් තැන් තැන්වල සහ ඒ ආසන්නයේ දකින්නට තියෙනවා. මේ තත්ත්වය යටතේ ගංගාවල ජල මට්ටම් සැලකුවොත් කළු ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් දකින්නට තිබ්බාත් එය විශාල ගංවතුර තත්ත්වයක් දක්වා දකින්නට නැහැ. ඒ වගේම කැලණි ගඟ ඉහළ ප්‍රදේශයේත් ස්ථාන කිහිපයක මිලිමීටර් 50 ඉක්මවූ වර්ෂාපතනයන් තිබ්බාත් සාමාන්‍ය වැඩි වීමක් පෙන්නුම් කරනවා ජල මට්ටම නමුත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නෑ. අනෙකුත් නිල්වලා, ගිංගඟ, අත්තනගලු ඔය, මහඔය ගංගා ද්‍රෝණිවලත් සාමාන්‍ය වැඩිවීමක් සිද්ධ වුණත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් මෙතෙක් පෙන්නුම් කරන්නේ නෑ. ඒ වගේම අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලත් විශාල වර්ෂාපතනයක් තියෙනවා මේ හේතුවෙන් දැදුරු ඔය සහ රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කරලා තියෙනවා. ඒ අනුව දැදුරු ඔය තත්ත්පරයකට ඝන අඩි 5,300ක ප්‍රමාණයක් නිදහස් කරනවා දැදුරු ඔය ජලාශයට, ඒ වගේම රාජාංගනය ජලාශය තත්ත්පරයකට ඝන අඩි 2,300කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා.


පවතින තත්ත්වය සහ ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දීලා තියෙන පුරෝකථනයන් අනුව තරමක තද වැසි නිරිත දිග ප්‍රදේශවලට ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් යාපනය වගේ දිස්ත්‍රික්කවලට ක්ෂණිකව ලැබෙන වර්ෂාපතනයන් හමුවේ පහත් බිම් යට වීමේ හැකියාව තිබෙනවා මන්නාරමත් ඒ වගේමයි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහත්බිම් ආසන්නයේ සහ ගංගා ද්‍රෝණි ආසන්නයේ සිටින ජනතාව මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ."

 

More News..