brand logo
logo
ශ්‍රී දළදා මාලිගා ශිෂ්‍යත්ව වැඩසටහනේ 02 අදියර කුරුණෑගලදී පැවැත්වෙයි

ශ්‍රී දළදා මාලිගා ශිෂ්‍යත්ව වැඩසටහනේ 02 අදියර කුරුණෑගලදී පැවැත්වෙයි

08 November 2026 | කමල් සුරවීර-මහනුවර


දැනුමෙන් හා යහ ගුණයෙන් සපිරි රටට වැඩදායි අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් දියවඩන නිලමේ ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල අදහසකට අනුව ක්‍රියාත්මක ශ්‍රී දළදා මාලිගා ශිෂ්‍යත්ව වැඩ සටහනේ 02 අදියර ඊයේ(07) දින කුරුණෑගල මලියදේව විද්‍යාලයේදී පැවැත්විණි.


අධ්‍යාපනයට දක්ෂ අඩු ආදායම්ලාභී දරුවන්ගේ අනාගතය සවිමත් කිරීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විධිමත් අධීක්ෂණය හා නිර්දේශ මත අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් මේ සඳහා තෝරා ගැනීම සිදුවේ.


ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහනේ ප්‍රථම අදියර වශයෙන් 2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 1988 ක් සඳහා මසකට රුපියල් 1500 බැගින් ලබාදීම මේ වන විට සිදුවන අතර මෙම දරුවන් 11 වන වසර අධ්‍යාපනය ලබා අවසන් වනතුරු ශ්‍රී දළදා මාලිගා ශිෂ්‍යත්ව ආධාර වැඩසටහන ක්‍රියාත්මක වේ.


දෙවන අදියර වශයෙන් ශිෂ්‍යත්වය සමත් දරුවන් 1973 ක් සඳහා ප්‍රතිලාභ ලබාදීම සිදුවන අතර ඒ අනුව වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම න දිස්ත්‍රික්කයන්හි දරුවන් 355 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වූහ.


ආර්ථික අපහසුතා හමුවේ අධ්‍යාපන අත්නොහැර ඉදිරියට යන දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ අනාගත සිහින සැබෑ කරමින් රටට සහ දැයට වැඩදායී ගුණ ගරුක පරපුරක් බිහි කිරීම උදෙසා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුවීය.

 

More News..