brand logo
logo
අලුත් ගෙවල් කුලී නීතියෙන් කුලීකාරයාට ගේ  සින්න වෙනවාද

අලුත් ගෙවල් කුලී නීතියෙන් කුලීකාරයාට ගේ සින්න වෙනවාද

07 February 2026 | සංජය නල්ලපෙරුම

ගෙහිමියෙක් විසින් පරිශ්‍රයක පදිංචිවී සිටින තැනැත්තන් නෙරපීම වැළැක්වීම සඳහාත්, ඒ සම්බන්ධ අනුශාංගික කාරණා සැපයීම පිණිසත් ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට්කර අධිකරණ ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ගිය සතියේ ඉදිරිපත් කළේය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් ඇතිව තිබෙන්නේ මෙහි ඇති වගන්ති දුක්මහන්සියෙන් මුදල් උපයා ගොඩනගාගත් ගෙවල් ​දොරවල් කුලීකරුවන් අත්පත් කර ගැනීමට හැකි බවට එල්ලවන චෝදනාව නිසාය. එබැවින් මේ පනතට විපක්ෂයේ මන්ත්‍රිවරුද පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් දැක්වූහ. මේ එම පනත ගැන ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සමග කළ සාකච්ඡාවකි.


ගෙවල් කුලී පනතට දීර්ඝ ඉතිහාසයක් තිබේ. 1970 දශකයේ මුල පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩු කාලයේදී, සංවෘත ආර්ථිකයක් පවත්වාගෙන යන කාලයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ඉදිරිපත් කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් එක් අයෙක්ගේ ඉඩම් අයිතිය අක්කර පනහකට සීමා කළේය. ඉන් පසුව දේශීය හා විදේශීය හිමිකරුවන්ගෙන් ඉඩම් රජයට පවරා ගැනීමට කටයුතු කරනු ලැබුවේය. ඊට අමතරව නගරබදව ගෙවල් හා ගොඩනැගිලිවල අයිතිය තිබුණේ සීමිත පිරිසක් සතුවය. ඒ නිසා නිවාස ගොඩනැගිලි උපරිම සීමා පනත යනුවෙන් පනතක් 1973 අංක එක දරන පනත මගින් ඉදිරිපත් කළේය. ඒ පනත මගින් එක් පවුලකට නිවාස ගොඩනැගිලි දෙකක් තබාගෙන අනෙක් ඒවා කුලී නිවැසියන්ට විකිණීමට කටයුතු කළේය. ඉන් පසුව ගෙන ආ තුන්වැනි පනත වූයේ ගෙවල් කුලී පනතය. එවකට පැවැති සංවෘත ආර්ථිකයට එම නීති ගැළපුණේය. එහෙත් 1977න් පසුව රට විවෘත ආර්ථිකයත් සමග විවෘත වීමත් සමගින් එම ක්‍රමය ප්‍රායෝගික නොවීය. ප්‍රායෝගිකව විශාල ගැටලු ඇති කළේය. එයට මූලික වූයේ ගෙවල් කුලී පනතය.


අදටත් පැරණි නගරවල නොදියුණු, ගරා වැටෙන, කඩා වැටෙන ගොඩනැගිලි බොහෝමයක් ගෙවල් කුලී පනත යටතේ පාලනය වන දේපළය. කුලී නිවැසියා සිටින නිසා ඒවා දියුණු කිරීමට හිමිකරුට හැකියාවක් ලැබෙන්නේ නැත. කුලී නිවැසියා යවා ගැනීමට හැකියාවක් ඇත්තේද නැත. කුලී නිවැසියා ඒවා දියුණු කරන්නේද නැත. ඒ නිසා ඒවා නිරපරාදේ සංවර්ධනය නොවී තිබේ. එවැනි ගොඩනැගිල්ලක් මත ණය මුදලක් ගැනීමට හැකියාවක් ලැබෙන්නේද නැත. ඒ නිසා ගොඩනැගිලි ඉදිකිරීමේ සංවර්ධනය පැරණි නගරවලට බලපා තිබේ. අලුතින් ඉදිවන නගරවලට ගෙවල් කුලී පනත බල නොපාන නිසා එම නගර ශීඝ්‍රයෙන් දියුණු වේ.


මේ සඳහා නඩු පැවරීමේදී දීර්ඝ කාලයක් අධිකරණ කටයුතු සඳහා ගත කිරීමට සිදුවේ. දිසා අධිකරණයේ නඩුවක් පවරා, සිවිල් අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කර ශ්‍රේෂ්ඨාධිකරණයට අයැදුම් කිරීමේ හැකියාව තිබේ. එය දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවකි.


මේ නිසා 2023 වසරේදී අලුත් පනත් තුනක් කෙටුම්පත් කළේය. එකක් වන්නේ බදු දීම් දේපළ ආපසු පවරාගැනීමේ පනතය. එය 2023 අංක දරන පනතයි. එය දැන් සාර්ථකව ක්‍රියාත්මක වේ. බදු ගිවිසුමක් අනුව දේපළක් බද්දට දීමෙන් පසුව හෝ බදු ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම නිසා බද්ද අවසන්වූ විට බදුකරු දේපළ තිබූ තත්ත්වයෙන් දේපළ හිමියාට භාරදිය යුතුය. ඒ සඳහා අවුරුදු විස්ස තිහ නඩු කියමින් සිටීමට සිදුවුවහොත් ඒ අයට ප්‍රායෝජනයක් ඇතිවන්නේ නැත. එය බදු ගොඩනැගිලි ඉදිකිරීම අධෛර්යමත් කිරීමකි. ඒ නිසා අප ඉදිරිපත් කළ කෙටුම්පත සම්මතවී දැන් පනතක් ලෙස ක්‍රියාත්මක වෙයි. මාස පහක්, හයක් ගත වන විට එම නඩු තීන්දු ලබාදී ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව දැන් ඇතිව තිබේ.


ගෙවල් කුලී පනත සම්බන්ධයෙන් ඇති බොහෝ දේ සම්බන්ධයෙන් නඩු පැවරීමටත් නීතියෙන් ඉඩක් ලැබෙන්නේද නැත. බොහෝ ගොඩනැගිලිවලට කුලී පනත යටතේ කුලී ගෙවීම් කරන්නේද දශක ගණනාවකට එහායින් වන මුදලකි. කුලී පනත නොතිබුණේ නම් කුලී හිමියන්ට එම ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ ගණනකට ලබාදිය හැකිය. එහෙත් දැන් ලැබෙන්නේ රුපියල් සියයක, දෙසීයක කුලී මුදලකි. එවැනි නොගැළපෙන දේ සංශෝධනය නොකිරීම නිසා ආර්ථික සංවර්ධනයත් අඩාළ වන්නේය.


මේ නිසා ගෙවල් කුලී පනත අහෝසි කිරීමටත්, එයට සමගාමීව දේපළ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමටත් පනත් දෙකක් ගෙන ඒමට පියවර ගත්තේය. එම පනත ගෙන එන්නේ අන්තර්කාලීනවය. කුලීයේ හෝ බදු ගිවිසුමේ වලංගු කාලය තුළ පදිංචිකරුවන්ට ජලය, විදුලිය සැපයුම කප්පාදු කිරීම නතර කිරීමටත්, නීතිය අතට ගෙන කුලි වැසියන් නෙරපීම වැළැක්වීමටත්, දෙවැනි පනත සකස් කළේය. අප සකස් කළ පනත ගැසට් කළත්, එහි තිබූ අඩුපාඩු බොහෝමයක් අපට හඳුනාගැනීමට හැකියාව ලැබුණේය. එසේ අඩුපාඩු තිබූ නිසා එය ඉදිරියට ගෙන ගියේ නැත. එසේ අප ඉදිරියට ගෙන නොගිය පනත් දෙක මේ ආණ්ඩුව ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.


මෙම පනත් දෙක රටට අවශ්‍ය පනත් දෙකකි. එහෙත් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආකාරයට පනත් දෙක සම්මත වුවහොත් නීති ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවිය හැකිය. අධිකරණවලට නඩු විසඳීමේදී ප්‍රශ්න ඇතිවිය හැකිය. එයින් වැඩිපුරම ඇතිවන්නේ ගැටලුය. ජනතා අදහස් විමසීම සදහා මාසයකින් ඉදිරි පියවර ගැනීම කල් දැමීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය දැනුම්දී තිබේ. එය හොඳ දෙයකි. තවත් දවස් කිහිපයක් යන විට ගැටලු, ව්‍යාකුලතාවන් ඇති නොවන ආකාරයට එම පනත් දෙකම කෙටුම්පත් කර ආණ්ඩුවට භාරදීමට මම කටයුතු කරමි.


බදු ගිවිසුමක් නම් ලියාපදිංචි කිරීමට හෝ නොකර සිටීමට හැකිය. අලුත් කෙටුම්පත අනුව අලුතින් ලියන බදු ගිවිසුම් ලියාපදිංචි කළ යුතුය. එසේ බදු ගිවිසුම් ලියාපදිංචි කිරීමේ වාසිය වන්නේ ලඝු ක්‍රමයට, කෙටි කාලයකින් ඉතා ඉක්මනින් නඩු අවසන් කර සහන ගැනීමට හැකිවීමය.


ගෙවල් කුලී පනත අනුව ගිවිසුමක් යන්නට කට වචනයක් වුවද ප්‍රමාණවත්ය. ඒ සඳහා ගිවිසුමක් තිබිය යුතු බව අනිවාර්ය වන්නේ නැත. අලුත් පනත අනුව තුන් මාසයක් පදිංචි වුවහොත් අයිතිවාසිකම් හිමිවන බවත්, නීත්‍යනුකූලව පදිංචිව සිටින අයත් යනුවෙන් අලුත් කෙටුම්පතේ සඳහන් කර තිබේ. නීත්‍යනුකූල පදිංචිකරුවන් ලෙස අලුත් පනත මගින් හඳුන්වාදී තිබුණත් ඔවුන්ගේ පදිංචිය නීත්‍යනුකූලද යන්න තීරණ කරන්නේ කවුද? එය තීරණය කළ යුතු වන්නේ අධිකරණයයි. ප්‍රධාන සහන ගැනීමට ප්‍රධාන නඩු විභාගයෙන් පසුව එයට සහන ගැනීමට අභියාචනා ඉදිරිපත් කළ හැකිය. ඒ ආකාරයටම එම ලඝු නඩුව අවසානයේදී අභියාචනා කිරීමටත් අවසර ලබාදී තිබේ. එවිට අලුත් පනත ගෙන ආවත් දෙපාර්ශ්වයටම සහනයක් ලැබෙන්නේ නැත. සිදුවන්නේ නැවත තවත් නඩු ගොන්නක පැටලීම පමණි. එවැනි අඩුපාඩු සකස් කර ආණ්ඩුවට කෙටුම්පත් දෙකක් අප දෙන්නේ අවශ්‍ය නම් සම්මත කරගැනීමටය. එමගින් අතුරු ගැටලු ඇති නොවන ආකාරයට අප සකස් කර තිබේ.


අලුත් පනත සමාජයේ කතාබහට ලක්වූයේ අලුත් පනත මගින් කුලී නිවැසියන් පිටමං කිරීමට නොහැකි බවක් සඳහන් කරමින්ය. කුලී නිවාසයේ විදුලිය, ජලය කප්පාදු කිරීමට නොහැකි බවත් සමාජයේ කතාබහට ලක්වූ කරුණකි. අප ඉදිරිපත් කළ මුල් පනතේ ඒවා ගැන සඳහන් වූයේ සාධාරණ හේතුවක් නොමැතිව විදුලිය, ජලය කප්පාදු කළ නොහැකි බවය. එහෙත් ආණ්ඩුව ඉදිරිපත් කළ නව පනතේ සදහන් වන්නේ කුමන හේතුවක් නිසාවත් කුලී නිවාසයේ විදුලිය හෝ ජලය කප්පාදු කළ නොහැකි බවය.


විදුලිය, ජලය කප්පාදු කිරීමේ දෙපැත්තක් තිබේ. එක මාසයක කුලී ගෙව්වේ නැතැයි පවසා කුලී ගොඩනැගිල්ලක විදුලිය විසන්ධි වන්නේ රෝහලක විය හැකිය. එම රෝහලේ ශල්‍යාගාර තිබිය හැකිය. එවිට මිනිස් ජීවිත සමග අවදානමක් දැරීමට සිදුවෙයි. අනෙක් පැත්තේ ඇතැම් කුලී නිවැසියන්, තමන්ගේ කුලී කාලය අවසන්වීමට ආසන්න විට තමන්ගේ ජල බිල්පත්, විදුලි බිල්පත් එකතුවීමට ඉඩ හරී. කුලී නිවැසියන් ගෙදරින් ගිය පසුව එම බිල්පත් ගෙවීමට වන්නේ නිවසේ හිමිකරුටය. එවැනි අවස්ථාවලදී දෙපැත්තම සලකා බලා අලුත් පනත් කෙටුම්පත සකස් කිරීමට අප කටයුතු කරනු ඇත. එවැනි විසන්ධි කිරීම් නතර කරන්නේ කෙටි කාලයකටය. ගෙවල් කුලී පනත අහෝසි කිරීමෙන් පසුව කෙටි දැනුම්දීමකින් නඩු පවරා මාස කිහිපයකින් කුලී නිවැසියා ඉවත් කිරීමට හැකිය. එම අන්තර්කාලය තුළ පොදු පහසුකම් අත්හිටුවීම වැළැක්වීමට සහ නීතියෙන් පරිබාහිරව ප්‍රචණ්ඩත්වයෙන් කුලී නිවැසියා ඉවත් කිරීම වැළැක්වීමට සීමිත කාලයකට පමණක් මෙය අදාළ කරගනු ලැබේ. දැන් සීමිත කාරණයෙන් පිට පැන විශාල නීති ගණනාවක් සමග පැටලී තිබේ. එම පැටලැවිල්ල නිරාකරණය කිරීමට අපි කටයුතු කරන්නෙමු.


සමාජයේ සාකච්ඡාවට ලක්වන දුර්වලතා සියල්ල මග හැරෙන ආකාරයට අප කෙටුම්පත රජයට භාරදීමට සූදානමින් සිටී. කෙටි කාලීනව සහන ගැනීමට හැකිවන ලෙසත්, නිසි බලැති අධිකරණයක් විසින් නෙරපීමක් සඳහා තීන්දුවක් දෙන තෙක් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපයුම් විසන්ධි කිරීම වළක්වා ගැනීම හා බලහත්කරයෙන් දේපළින් ඉවත් කිරීම වළක්වා ගැනීම සඳහා පමණයි මෙම පනත ගෙන එනු ලබන්නේ.


මීට අමතරව තට්ටු නිවාස, මහල් නිවාස ඇතුළු සහාධිපත්‍ය දේපළ තිබේ. ඒවායේ ගෙහිමියා එක් අයෙක් වූවාට ඒවා පාලනය කරන්නේ කළමනාකරණ සමාගම්ය. ඒවාට මෙවැනි නීති අනුගත කළ විට රටේ තට්ටු නිවාස ඉදිකිරීම් නතර කරනු ඇත.


මේ අතරම විහාර දේවාල ගම් පනත යටතේ ගැනෙන දේපළත් ආණ්ඩුව ගෙන ආ නව පනතට ඇතුළත් කර තිබේ. ඒවා තාවකාලික පනතෙන් ඉවත් කළ යුතුය. නැතිනම් නව නීතිය විහාර දේවාලගම් පනත සමග ගැටෙනු ඇත. විහාර දේවාලගම් පනත යටතේ ඇති දේපළ බොහෝමයක් ඇත්තේ බදු පදනම යටතේය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් අවසර ගෙන එම දේපළ බදු දේ. එය විය යුත්තේ විහාර දේවාලගම් පනත අනුවය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතෙන් පවා විහාර දේවාලගම් පනත ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එහෙත් අලුත් පනත ඇතුළට විහාර දේවාලගම් පනතේ දේපළත් ඇතුළත්ව තිබේ. එය නිවැරරදි කිරීමට අප කටයුතු කරමින් සිටී.


එවිට ආණ්ඩුවට දැන් ගැසට් කර තිබෙන පනත් කෙටුම්පත ඉවත් කර අලුත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 

සංජය නල්ලපෙරුම

 

More News..