brand logo
logo
ඉම්රාන් ඛාන්ගේ බල කඳවුරක් වූ කයිබර් පක්තුන්ක්වා පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඉම්රාන් ඛාන්ගේ බල කඳවුරක් වූ කයිබර් පක්තුන්ක්වා පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

11 October 2026


පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානම බල කඳවුර ලෙස සැලකෙන වයඹ දිග පාකිස්තානයේ පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධ වගන්ති දෙකක් යටතේ අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය බලපැවැත්වේ.


සිරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ 'පාකිස්තාන් තාරික්-ඊ-ඉන්සාෆ්' (PTI) පක්ෂයේ ආධාරකරුවන් විසින් කයිබර් දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පාගමනක් ආරම්භ කර ඇත.


වසර තුනකට අධික කාලයක් සිරගතව සිටියද රට තුළ තවමත් ඉහළ ජනප්‍රියත්වයක් භුක්ති විඳින ඉම්රාන් ඛාන් නිදහස් කිරීමේ අරමුණින් ඉස්ලාමාබාද් අගනුවර වෙත මෙම පාගමන රැගෙන යාමට PTI පක්ෂය සූදානම් වෙමින් සිටී.


මෙම පසුබිම තුළ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හේතුවෙන් අදාළ පාගමන නීතිමය අත්හිටුවීමකට ලක්වනු ඇති බව වාර්තා වේ.


පාකිස්තාන මහ මැතිවරණය අවසන් වරට පැවති 2024 සහ 2018 යන අවස්ථා දෙකේදීම ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය කයිබර් පක්තුන්ක්වා පළාතේ බහුතර බලයක් හිමිකර ගැනීමට සමත් විය. 


විශේෂයෙන්ම, 2024 පෙබරවාරි මාසයේ පැවැති මහ මැතිවරණයේදී ඔවුන්ගේ පක්ෂයට නිල ලාංඡනය අහිමි වීම නිසා අපේක්ෂකයන්ට ස්වාධීන වීමට සිදුවුවද, එම පළාතේ ආසන 115කින් 85කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් එහි බලය පිහිටුවීමට ඔවුන්ට හැකි විය.

 

More News..