brand logo
logo
කපිල මියගිය ස්ථානයේ තිබූ පෙති 20 ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

කපිල මියගිය ස්ථානයේ තිබූ පෙති 20 ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

20 May 2026

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයේ තිබී සොයාගත් හඳුනා නොගත් ඖෂධ පෙති 20ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන, කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (19 වැනිදා) නියෝග කළේය.


ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා​ගේ නිවස තුළ කපිල චන්ද්‍රසේන නමැති අය සැකකටයුතු අන්දමින් මියගොස් තිබූ ස්ථානයේ තිබී නාඳුනන ඖෂධ පෙති වර්ග 2ක් සොයාගත් බවත් එක් වර්ගයක පෙති 9ක් සහ තවත් වර්ගයක පෙති 11ක් තිබූ බවත් සඳහන් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී. දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.


කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුවූ නිවසට රථගාල දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබුණද මෙම මස 5 වැනිදා සහ 7 වැනිදා අතර කාලසීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නොමැති බවට අවට නිවෙස් සහ ගොඩනැගිලිවල සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී තොරතුරු අනාවරණ වී ඇතැයි දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදුවූ නිවසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවලට අදාළ ඩී.වී.ආර්. යන්ත්‍ර පොලිසිය භාරයට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.


ඊට අදාළ නියෝග මහෙස්ත්‍රාත්වරයා විසින් ලබාදුන්නේය.


සැකකටයුතු අන්දමින් මියගිය කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ යළි පැවැත්විණි. එහිදී කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරියකු වන කෝසල රත්නජීව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ සේවිකාවක වන පරාබරන් ජෙයසීලා, එම නිවසේ සේවකයකු වන රාජේන්ද්‍ර කුමාර්, එම නිවසේ සී.සී.ටී.වී. කැමරා සවිකළ ආයතනයේ ඉන්ජිනේරුවරයකු වන ක්‍රිෂාන්ත කමලසිරි සාක්ෂි ලබාදුන්නේය.


මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 22 වැනිදා තෙක් කල් තබන ලදී.

 

More News..