ඔන්ලයින් ඔට්ටු ඇල්ලූ වෙබ් අඩවි 24ක් තහනම්
10 September 2026 | සංජය නල්ලපෙරුම
ඔන්ලයින් ඔට්ටු ඇල්ලූ වෙබ් අඩවි 24ක් තහනම්
10 September 2026 | සංජය නල්ලපෙරුම
මළ පොතේ අකුරු බෑ කී සමහරු ඉංග්‍රීසි පත්තර මුල සිට අගටත්, අග සිට මුලටත් බැලීම කාලයකට පෙර අමුත්තක් වූයේ නැත. මළ පොතේ අකුරක්වත් බැරි සමහරු බැලූ ඉංග්‍රීසි පත්තරයේ හැඩරුව ඉංග්‍රීසි හොඳට හැකි අයටත් තේරුම් ගැනීමට නොහැකිය. මේ ඉංග්‍රීසි පත්තරේ තිබුණේ ප්‍රවෘත්ති දැන ගැනීමට නොව, ඔට්ටු අල්ලන අශ්වයාගේ වගතුග දැනගන්නටය. සුද්දාගේ කාලේ පටන් පැවැති ‘තුරග තරග’ යන වචනයට පසුකලෙක අයවැය යෝජනාවක් ආවේය.
ඔට්ටු ඇල්ලීම් සඳහා බදු අය කිරීම සඳහාත් ආඥා පනතක් මුලින්ම ගෙන ආවේ එක්දහස් නවසිය තිහේදීය. ඉන් පසුව විධිමත් ආකාරයට ඔට්ටු නියාමනය කිරීම සඳහා පනතක් ගෙන එනු ලැබුවේ එක්දහස් නවසිය අසූ අටේදීය. එයින් පසුව සූදු සහ ඔට්ටු හරහා ලැබෙන බදු මුදල් රාජ්‍ය ආදායම වේගයෙන් ඉහළ නැංවීමට දායකත්වය දුන්නේය. අශ්ව රේස් සඳහා ඔට්ටු ඇල්ලීමෙන් ඔබ්බට ගොස් ක්‍රිකට් ක්‍රීඩාව වැනි ක්‍රීඩා සඳහාත් ඔට්ටු ඇල්ලීම් පටන් ගත්තේය. ඒ සමග පත්තරෙන් ඔට්ටු ඇල්ලීම යට ගොස් රූපවාහිනී තිර ඔස්සේ සජීවීව ඔට්ටු ඇල්ලීම්ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණේය. ඔට්ටුවෙන් ජයගත්තාද නැද්ද යන්න ඒ අවස්ථාවේදීම දැන ගැනීමට හැකිවීම නිසා මෙය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගන්නක් බවටද පත්වුණේය. එදා රේස් කොළයෙන් සහ රූපවාහිනී තිරයෙන් කළ ඔට්ටු ඇල්ලීම දැන් ජංගම දුරකතනය වෙත පැමිණ තිබෙන්නේය. ඒ අන්තර්ජාලය නිසාය. අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා කරන වෙබ් අඩවි පසුගිය කාලයේදී රට පුරා තැනින් තැන දකින්නට ලැබුණේ හතු පිපෙනවා වගේය. ඇතැම් සූදු ක්‍රීඩා කරන වෙබ් අඩවි ලංකාවේ සිට ක්‍රියාත්මක විය. එයින් කිහිපයක් මේ වන විටත් රජයට අය විය යුතු බදු ගෙවමින් පවත්වාගෙන ගිය ආයතනවලට අයත් වෙබ් අඩවි විය. එහෙත් බොහෝමයක් සූදු ක්‍රීඩා කරන වෙබ් අඩවිවල කිසිදු පාලනයක් තිබුණේ නැත. ඇතැම් ඒවායේ අයිතිය ලංකාවට තිබුණේත් නැත. ඇතැම් ඒවායේ අයිතිය ඇත්තේ කාටදැයි, කවුරුවත් දැන සිටියේත් නැත.
ඒ නිසාම අන්තර්ජාල සූදු ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා පනතක් සම්මත කරගත්තේ 2025 වසරේදීය. එම පනත අනුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන ලොතරැයිවලට බාහිර සියලුම සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ බලය අලුතින් පිහිටුවනු ලබන අධිකාරිය වෙත පවරනු ලැබුවේය. ඒ අනුව සූදු ක්‍රීඩා සඳහා වන බලපත්‍ර දීම, අලුත් කිරීම හා බලපත්‍ර තහනම් කිරීමේ වගකීම පැවරුණේ මෙම අධිකාරියටයි.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත අනුව බලපත්‍රයක් නොමැතිව සූදු ක්‍රීඩා කරගෙන යාම නීති විරෝධි වන්නේය. එය අන්තර්ජාල සූදු ක්‍රීඩාවටත් අදාළ වන සේ ප්‍රතිපාදන පනත මගින් දී තිබුණේය. සූදු නියාමන අධිකාරී පනතේ දහ අට වැනි වගන්තියේ සඳහන් වන්නේ ඩිජිටල් සූදු ක්‍රීඩා කිරීම සඳහා වන බලපත්‍රයක් නොමැතිව ඔන්ලයින් සූදු ක්‍රීඩා කළ නොහැකි බවය. ඒ අනුව සූදු ක්‍රීඩා නියාමන අධිකාරියේ අවසර නොමැතිව පවත්වාගෙන යන අන්තර්ජාල සූදු ක්‍රීඩා ගැන පසුගිය කාලයේදී අවධානය යොමුව තිබුණේය. මෙසේ ලියාපදිංචිය නොමැතිව පවත්වාගෙන ගිය අන්තර්ජාල සූදු ක්‍රීඩා ආයතන ක්‍රිකට් තරග විකාශය වන අතරවාරයේදී රූපවාහිනී දැන්වීම් විකාශය කිරීමටත් විශාල මුදලක් වැය කළේය. එපමණක් නොව කොළඹ ඇතුළු තදාසන්න නගරවල විශාල ප්‍රමාණයේ කටවුට් හරහාද ඔන්ලයින් සූදු ක්‍රීඩාව ප්‍රවර්ධනය කර තිබුණේය.
ලියාපදිංචිය නොමැතිව පවත්වාගෙන ගිය සූදු ක්‍රීඩා ආයතන විසින් මේ ආකාරයට ප්‍රවර්ධන කටයුතු කිරීමත් නීතිවිරෝධී බව සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ හතළිස් හතර වැනි වගන්තියේ සඳහන් වන්නේය. ඒ අනුව නීති විරෝධී ලෙස සූදු ක්‍රීඩා ප්‍රවර්ධනය කරන අයෙක් හට රුපියල් ලක්ෂයට නොවැඩි දඩයකට හෝ වසර දෙකක් නොඉක්මවන සිර දඬුවමකට යටත් කිරීමේ හැකියාව පවතින්නේය.කාලයක් තිස්සේ නියාමනයක් නොමැතිව අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ගිය සූදු ක්‍රීඩාවලට එරෙහිව දැනට සති කිහිපයකට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණයක් ගත්තේය. ඒ නීතිවිරෝධී අන්තර්ජාල සූදු ක්‍රීඩා පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි විසි හතරක් තහනම් කිරීමටය. සූදු ක්‍රීඩා නියාමන අධිකාරීය චිසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඒ ආකාරයට නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි විසි හතරක් පිළිබඳ තොරතුරු දී තිබුණේය. ඒ අනුව එම වෙබ් අඩවි විසි හතර තහනම් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ ක්ෂේත්‍රය විධිමත් නියාමන රාමුවකට ගෙන ඒම සඳහා රජය ගෙන ඇති මෙම පියවර සම්බන්ධයෙන් නීත්‍යනුකුලව රජයට බදු ගෙවමින් සූදු ක්‍රීඩා පවත්වාගෙන යන ආයතන සතුටට පත්ව සිටින්නේය.
“මෙවැනි විධිමත් නියාමනයක් හරහා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පමණක් නොවෙයි, රජයට මෙම ක්ෂේත්‍රයෙන් ලැබිය යුතු බදු ආදායම් විධිමත්ව ගැනීමටත් හැකියාව ලැබෙනවා.
මෙතෙක් විධිමත් නියාමනයකින් තොරව ක්‍රියාත්මක වූ ඇතැම් ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි පද්ධති හරහා මුදල් විදේශගතවීම සහ ඒවා පහසුවෙන් හඳුනාගත නොහැකි මාර්ග ඔස්සේ සිදුවීම පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත්. ඒ නිසා, සමස්ත ක්ෂේත්‍රයම පැහැදිලි නීති සහ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක කිරීම රජයට මෙන්ම පාරිභෝගිකයන්ටත් වැදගත් පියවරක්.
පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවත් මෙවැනි නියාමනයක ප්‍රතිලාභය ඉතා වැදගත්. සෑම මෙහෙයුම්කරුවකුම එකම බලපත්‍රල නියාමන අනුකූලතා සහ විනිවිදභාවය පිළිබඳ ප්‍රමිතීන් සපුරාලිය යුතු පරිසරයක් තුළ සමස්ත ක්ෂේත්‍රය කෙරෙහිම මහජන විශ්වාසය වර්ධනය වෙනවා. තමන් භාවිත කරන වෙබ් අඩවි පද්ධති නිසි වගකීමකින් සහ නියාමන අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වන බවට විශ්වාසයෙන් යුතුව පාරිභෝගිකයන්ට සේවාව භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.
අනෙක් අතට, නියාමනයකින් තොර මෙම වෙබ් අඩවි පද්ධතීන් භාවිත කිරීමේදී ගැටලුවක් ඇති වූ විට පාරිභෝගිකයාට සහනයක් හෝ වගකිව යුතු පාර්ශ්වයක් සොයා ගැනීම පවා අපහසු විය හැකියි. එබැවින් නියාමනය යනු ක්ෂේත්‍රයට පනවන සීමාවක් ලෙස පමණක් නොව, පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ ආරක්ෂාව තහවුරු කරන වැදගත් පදනමක් ලෙස දැකිය යුතුයි.
බෙට් එස්.එස්. ඩොට් කොම් ලෙස අපි ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ පවතින නීති සහ නියාමන රාමුවට අනුකූලව ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ නිසා මෙම නියාමන ක්‍රියාවලිය අපි දකින්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ක්‍රීඩා සහ ඔට්ටු ඇල්ලීමේ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි. ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන සෑම මෙහෙයුම්කරුවකුම එකම නීති, වගකීම් සහ විනිවිදභාවය පිළිබඳ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම තුළින් වඩාත් විශ්වාසදායක සහ වගකීම් සහිත ක්ෂේත්‍රයක් ගොඩනැගීමට හැකි වේවි” බෙට් එස්.එස්. ඩොට් කොම්හි ප්‍රධාන විධායක නිලධාරී රවීන් ද මැල් සඳහන් කළේය.
සූදු නියාමන අධිකාරිය, නීතිවිරෝධී අන්තර්ජාල සූදු ක්‍රීඩා සඳහා ඉඩදී ඇති වෙබ් අඩිව තහනම් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සමග කටයුතු කළා පමණක් නොව ඒවා ප්‍රචාරය කිරීම සඳහාත් සවිකර ඇති දැවැන්ත කටවුට් ඉවත් කිරීම සඳහාත් පියවර ගනිමින් සිටින්නේය. කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන් සූදු ක්‍රීඩා නියාමන අධිකාරීය ඉල්ලා තිබුණේ නීතිවිරෝධී ලෙස කොළඹ නගරයේ පවත්වාගෙන යනු ලබන දැන්වීම් බැනර්, කටවුට් සහ අනෙකුත් ප්‍රචාරක පුවරු ඉවත් කරන ලෙසය.
කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය ඊට වහාම ප්‍රතිචාර දැක්වූවේය. කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචිවී ඇති සියලුම වෙළෙඳ දැන්වීම් නියෝජිත ආයතන වෙත ලිඛිත දැනුම්දීමක් කෙරුණේ ඒ අනුවය. එම ලිඛිත දැනුම්දීමෙන් ඉල්ලා සිටියේ දැනට කොළඹ මහ නගර සභා සීමාවේ ඇති සියලුම දැන්වීම් පුවරු ගැන නැවත සොයා බැලීමක් කරන ලෙසය. තමන්ගේ ආයතන විසින් කළමනාකරණය කරනු ලබන එවැනි දැන්වීම් පුවරුවලින් නීතිවිරෝධී ඔන්ලයින් සූදු ක්‍රීඩා ප්‍රවර්ධනයක් වන්නේ නම් එම පුවරු ඉවත් කිරීමටත්, ඉදිරියේදී එවැනි ආයතනවල දැන්වීම් ප්‍රචාරය නොකරන ලෙසත් එමගින් ඉල්ලා තිබිණි. ඒ අනුව ඉදිරියේදී කොළඹ නගරයේ ඇති විශාල කටවුට් ප්‍රමාණයක් ගැලවී යනු ඇත. ඒ එම කටවුට් බොහෝමයක ඇත්තේ නීතිවිරෝධී ඔන්ලයින් සූදු ප්‍රවර්ධනය කිරීම් වන නිසාය.
නීතිවිරෝධී ඔන්ලයින් සූදු ක්‍රීඩා නියාමනය කරමින්, ඒවා තහනම් කිරීම හරහා නීත්‍යනුකූල සූදු ක්‍රීඩා ආයතනවලට පමණක් රට තුළ ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන්නේය. ඔවුන්ට කටයුතු කිරීමට සිදුවන්නේ රජයට ගෙවිය යුතු නිසි බදු මුදල් ගෙවීමෙන් පමණක්ය. එය රටේ බදු ආදායම ඉහළ නැංවීමත් හේතු වනු ඇත්තේය.

