brand logo
logo
 රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

08 November 2026


දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (07) සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


කල්මුණේ - මඩකලපුව මාර්ගයේ 392 වැනි කිලෝමීටර් කණුව අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කල්මුණේ උතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ පෙරියනිලාවනි ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකි.


අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ද එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පෙරියනිලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


මේ අතර, තණමල්විල - වැල්ලවාය මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


තණමල්විල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හඳපානාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


එමෙන්ම, මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ කහදෙනියගම හන්දිය අසලදී සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


අනතුරින් යතුරුපැදිකරු සහ මෝටර් රථයේ රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ දුනුකදෙනිය, වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.


දුම්මලසූරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..