brand logo
logo
 ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමියේ ගින්න පාලනය කරයි

ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමියේ ගින්න පාලනය කරයි

22 August 2026


ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමියේ හටගත් ගින්න අක්කර 8ක පමණ ප්‍රමාණයකට සීමා කරමින් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට පියවර ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශය පැවසුවේ රජයේ කඩිනම් මැදිහත්වීම මත ත්‍රිවිධ හමුදාවද ඇතුළු රාජ්‍ය ආයතන එක්ව මෙම ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබුණු බවය.


ගින්න මැඩපැවැත්වීමෙන් අනතුරුව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා එම ප්‍රදේශය නිරීක්ෂණය කළ අතර එහිදී එම ප්‍රදේශය ඉදිරි සංරක්ෂණ කටයුතු සඳහා වූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරුණි.


වියළි කාළගුණය හා තද සුළං තත්ත්වය හමුවේ දින දෙකක් පුරාවට පැතිර යමින් තිබූ මෙම ගින්න පිළිබඳව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කළ දැනුම්දීමකට අනුව ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානයන් යොදා ගනිමින් මුහුදු ජලය ඉසිමින් ගින්න පාලනයට පියවර ගැනුණි.


එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රදේශවාසීන්ගේ ඒකාබද්ධ පරිශ්‍රමයෙන් හෙක්ටයාර 3,000කට අධික මෙම අගනා තෙත්බිම් පද්ධතිය විනාශ වීම වළක්වා ගැනීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යාංශය සඳහන් කළේය.


නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ගින්න ඇතිවීම පිටුපස කිසියම් හිතාමතා සිදුකළ ක්‍රියාවක් හෝ කඩාකප්පල්කාරී පසුබිමක් පවතින්නේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවය.


ඒ අනුව කිසියම් පාර්ශ්වයක් මගින් මෙවැනි නීතිවිරෝධී පරිසර විනාශයක් සිදුකර ඇති බවට තහවුරු වුවහොත් ඒ සඳහා ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


 

More News..