කැලේ ඇත්තුන්ට හමුදා ආරක්ෂාව
26 October 2026 | සාලිය කුමාර ගුණසේකර
කැලේ ඇත්තුන්ට හමුදා ආරක්ෂාව
26 October 2026 | සාලිය කුමාර ගුණසේකර
වන අලි සහ ඇතුන්ගේ ආරක්ෂාව සේම අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව, ත්රිවිධ හමුදාව සහ අදාළ පාර්ශ්වයන් එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්යාංශය සඳහන් කරයි. මේ අනුව, යුද හමුදා මූලස්ථානයේ මීට අදාළව මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත.
පරිසර ඇමැති වෛද්ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්ය ඇමැති ඇන්ටන් ජයකොඩිගේ ප්රධානත්වයෙන් සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් කේ. වී. නිලන්ත පී. ප්රේමරත්න, පරිසර අමාත්යාංශ ලේකම්වරයා, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, හමුදා බුද්ධි අංශ හා ඩ්රෝන මෙහෙයුම් අංශ නියෝජිතයන් සහ ස්වේච්ඡා පරිසර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පරිසර අමාත්යංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ තීරණය කර තිබේ.
යුද හමුදා මූලස්ථානය කේන්ද්ර කරගනිමින් පිහිටවනු ලබන විශේෂ මෙහෙයුම් මැදිරියට වනජීවී නිලධාරීන්, පශු වෛද්යවරුන් සහ ත්රිවිධ හමුදා නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.
මෙහිදී අවදානම් සහිත කලාපවල සැරිසරන බවට හඳුනාගෙන ඇති ඇතුන් කෙරෙහි කඩිනම් ආරක්ෂක පියවර ක්රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම,එම ඇතුන් ගමන් කරන මාර්ග නිරීක්ෂණය කරමින් යුද හමුදා විශේෂ ආරක්ෂක අනුඛණ්ඩ යෙදවීමට නියමිතය.
සතුන් හැසිරවීම සහ ක්ෂේත්ර රාජකාරි සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශේෂ පුහුණුවක් ලබාදීමටත්, වනජීවී නිලධාරීන්ට හමුදා කඳවුරු තුළ නවාතැන් හා ක්ෂේත්ර පර්යේෂණ පහසුකම් සැපයීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ කෙරිණි. මෙහෙයුම් සැලසුම් යාවත්කාලීන කිරීම සඳහා සතිපතා දත්ත සමාලෝචනයක් මෙන්ම මසකට වරක් ප්රධාන පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

