අපෙන් එකෙකි මේ කුඩ්ඩා.....
19 July 2026
අපෙන් එකෙකි මේ කුඩ්ඩා.....
19 July 2026
ඇඹිලිපිටිය එදා සුපතලව තිබුණේ ත්‍රෛලෝක විජයපත්‍රවලට හෙවත් ගංජාවලටය. එහෙත් දැන් ඇඹිලිපිටියෙත් ත්‍රෛලෝක විජයපත්‍රවලට වඩා එහා ගිය දේවල් තිබෙන බවත් ඒවා පානයෙන් මිනිසුන් ආනන්තරීය පාපකර්මවලට යොමු වෙන බවත් ගිය සතියේ සිදුවූ දෙයකින් තේරුම් ගැනීමට ලැබිණ. ඇඹිලිපිටිය කිරමවැල්කොටුවේ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයකුගේ පුත්‍රයා මත්ද්‍රව්‍යවලට යොමුව සිටියේය. ඔහු උසස් පෙළද සමතෙකි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මේ සමතා රස්සාවක් නොකළෙන් මත්ද්‍රව්‍ය සපයා ගත්තේ සුළු සුළු සොරකම්වල යෙදීමෙනි. මත්ද්‍රව්‍ය සමග ඔහු පොලිසියට අසුවන සෑම මොහොතකම නිදහස් කරගෙන ආවේ තාත්තාය. පුතා මතින් තුරන් කරගැනීමට මානසික වෛද්‍යවරයකුට යොමු කළද වෛද්‍යවරයාටද මත්ද්‍රව්‍ය සමග තිබූ බැම්මට පොරෝ පහර දෙන්නට බැරිවිය.
අවසාන වතාවට මත්ද්‍රව්‍ය සමග උසාවියට ඉදිරිපත් කළ මේ පුත්‍රයා පුනරුත්ථාපනයට ඉදිරිපත් කරන ලෙස තාත්තා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් පුනරුත්ථාපන කඳවුරුත් පිරී තිබූ බැවින් ඔහු අඟුණකොළපැලැස්සේ බන්ධනාගාරයට යොමු කෙරිණ. බන්ධනාගාරයේ ගත කළ කාලයේ පුත්‍රයාට සමේ රෝගයක් හැදුණෙන් තාත්තත් අම්මාත් කළේ සමේ රෝගය සුව කිරීමට ඔහු නිදහස් කරගෙන ගෙදර කැඳවාගෙන ඒමය. මත්ද්‍රව්‍ය ඕනෑම පුත්‍රයකු මාර පුත්‍රයකු බවට පත්කරයි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී දද කුෂ්ඨ රෝගියකු බවට පත් කළේ තාත්තා යැයි වෛරයෙන් සිටි පුතා මත්ද්‍රව්‍ය ගන්නට වුවමනා මුදල් ගෙදරින් ඉල්ලා සිටියේය. තාත්තාගෙන් මුදල් නොලැබීමෙන් කෝපයට පත් මාර පුත්‍ර තෙමේ පළමුවෙන් අලවංගුවෙන් පහර දී තාත්තා මරා දමා ඒ මැදට පැන්න අම්මාටද එයින්ම පහරදී ගෙය මැද මරා දැමූවේය. ගෙවුණ සතියේ මුල මුළු රටම කම්පා කළ ඇඹිලිපිටියේ පුවත ගැනය අප මුලදී සඳහන් කළේ.
අම්මටත්, තාත්තටත් පහරදී මරා දමන තෙක් අසල්වැසියන් කිසිවෙක් ඔවුන් මාර පුත්‍රයාගෙන් බේරා දෙන්නට ආවේ නැත. මේ රටේ ප්‍රශ්නය තිබෙන්නේ කුඩුකාරයන් නිසා යයි නිතර කියැවේ. එහෙත් සමාජය කුඩුකාරයන් මේ රටේ ප්‍රශ්නයක් කරගෙන නැත. කුඩුකාරයන් රටේ සිද්ධවෙන බොහෝ ප්‍රශ්නවලට උත්තරය කරගෙනය.
මේ රටේ සිද්ධ වෙන බොහෝ ඉදිකිරීම්වල අසීරුම දුෂ්කරම කාර්යයට උර දෙන්නේ කුඩුකාරයන්ය. මෑන් පවර් සමාගම් කාර්යශූරත්වය ලබාගන්නේ Five S ක්‍රමයෙන් නොව කොන්ක්‍රීට් අනන්නට එන උන්ට කුඩු උරන්නට දීමෙනි. ඔවුනට අව් වැසි සුළං සුළුය. අතපය සීරිම් තැළීම් කැඩීම් බිඳීම් සඳහා රක්ෂණ ආවරණ නැතුව වැඩකරන්නට දන්නෝය. දශක තුන හතරක පමණ කාලයක් තිස්සේ නගරවලත්, අග නගරයේත් මහා තට්ටු ගොඩනැගිලි ඉදිකරන්නට දහඩිය හෙළුවේ වැඩිපුරම කුඩුකාරයන්ය. නගරයේ කැළිකසළ එකතු කිරීමේ සිට මහා කාණු කපා අප ජලය බස්සවාලන්නට කුඩුකාරයන් දැක්වූ දායකත්වය මහ බැංකු වාර්තාවලටවත් හසු වී නැත. ‘දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ’ කියන විට අතීත යෝධයන් ගැන ලාංකිකයා ආඩම්බරයට පත්වෙන්නාක් සේම නූතනයේ එබඳු මහ ඉදිකිරීම් ගැන කීවොත් ඒ දුෂ්කර වැඩ කර තිබෙන්නේ කෙට්ටු, කෙසඟ ඇට පෑදුන කුඩුකාරයාය කියා ලාංකිකයාට පුදුම වෙන්නට පුළුවන.
බර වැඩ මතු නොව රටට වැදගත් තවත් වැඩවලද කුඩුකාරයෝ දායකත්වයක් දෙන්නෝය. මීට වසර දෙකකට පමණ පෙර බොරැල්ල කනත්ත වට රවුමේ මහ දවල් වාහන දෙකතුනක් හප්පාගෙන, පදිකයන් චප්ප කරගෙන ගිය මහා බුල්ඩෝසරය පදවා තිබුණේ කුඩුකාරයෙකි. පිටකොටුවේද නගරාසන්නයේද, මගී බස් රථ රියැදුරන් නවත්වාගෙන කළ කුඩු පරීක්ෂාවෙන් රියැදුරන්ද, කොන්දොස්තරවරුන්ද රාශියක් ඉහළින්ම සමත් වූ බව කවුරුත් දනිති.
එපමණක් නොව කුඩු මතින් රට මුදවා සමාජයේ සුචරිතයේ යෙදවීමට ඉන්නා අයද අතරින් පිරිසක් ඒවායේ යෙදෙන්නේ කුඩු පානයෙතැයි ඔප්පු වී තිබේ. මත්ද්‍රව්‍ය රැගෙන ලංකාවට වඩිද්දී කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් භික්ෂුන් වහන්සේලා ද මත්ද්‍රව්‍ය ගෙන එමින් සිටියේ ඒවා පානය කරය. කුඩු ගසා බණට පිරිතට වඩින සඟුන්ද ඉන්නා බැවින් මතින් දෙසූ බණත්, ශීලයෙන් දෙසූ බණත් වෙන්කර දීමට දියෙන් කිරි වෙන් කරන හංසයන්ටද නොහැකි වනු ඇත. කොකේන් පානය කරන පාර්ලිමේන්තු මන්ත්‍රින් ඉන්නා බව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ කීවේය. ඒ කතාව ඇත්තක් නම් රටේ අණපනත් සැකසීමටද කුඩුකාරයන් දායකව සිට ඇති බව පෙනේ. ඒ අනුව දැන් ‘පාර තනන තැන, රිය පදවන තැන, ගිනියම් අව්වේ, මහ වරුසාවේ ඉන්නේ කුඩුකාරයන්ය. එපමණක් නොව බණ කියන තැන, නීති හදන තැන නීති රකින තැනත් කුඩුකාරයන් සිටිති. එපමණක් නොව ඔවුන් කරන සුළු සුළු සොරකම් මේ රටේ වෙළෙඳාමට අත්‍යවශ්‍ය ය. වටිනා බඩු අඩුවට සපයන්නේ කුඩුකාරයෝය. වාහනවල පැති කණ්ණාඩි යුගලයේ සිට තොවිලයට වුවමනා එක ඉත්තේ දෙහි සොයා දෙන්නේද කුඩුකාරයාය. ලක්ෂ ගණනක් කුඩුකාරයන් දිනපතා කරන කුඩා කුඩා සොරකම් ලක්ෂ ගණන මේ රටේ යටිබිම්ගත වෙළෙඳපොළට අත්‍යවශ්‍ය වූවකි. යකඩ කෑල්ලේ සිට පොල් ගෙඩිය දක්වා සොරකම් කොට සපයන වෙළෙඳපොළකට ලක්ෂ ගණනක් පාරිභෝගිකයෝ කැමැත්තෙන් එති. දැන් කුඩ්ඩා අපේම එකෙකි. එසේ නම් මත්ද්‍රව්‍ය පානය කරන්නා ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඔවුන්ගේ පවුල්වලට පමණය.
දැන් කුඩු පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව දසලක්ෂවලින් ගණන් හැදිය හැකිය. ඒ පවුල් ලක්ෂ ගණන් අම්මලා, තාත්තලා, බිරින්දෑවරු දරුවන් දිනපතා නොමැරී මැරේ. අම්මලා, තාත්තලාට පහර දීමේ සිට මරා දමනු ලබන අවස්ථාද සෑහෙන ප්‍රමාණයක් වාර්තා වේ. ඇඹිලිපිටියේ මාරපුත්‍රයා පළමුව ගෙදර අපරාධයක් කර අවසානයේ ඒ අපායේ දුක්විඳි අම්මා තාත්තාද මරා දැමුවේය. ඒ මාරපුත්‍රයන්ගෙන් ගොඩනැගිලි හදාගත් අඩුවට බඩුගත්, කුණු අද්දවාගත් කවුරුත් ආනන්තරීය පාපකර්මයට හවුල්ය.

