brand logo
logo
රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

30 August 2026


දිවයිනේ ප්‍රදේශ තුනක ඊයේ (29) සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.


පොලීසිය පැවසුවේ මෙම අනතුරු හේතුවෙන් අවුරුදු 15ක් දරුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවය.


ඒ අනුව ඊයේ සවස සපුගස්කන්ද පොලිස් වසමේ බියගම සපුගස්කන්ද මාර්ගයේ සමෘද්ධි මාවත ආසන්නයේදී සපුගස්කන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබේ.


එහිදී මාර්ගයේ වම්පස වැලි තීරුවේ ගමන් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගේ කැබ් රථය ගැටී ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ ළමුන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15ක් වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සිද්ධිය සම්බන්ධව කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සපුගස්කන්ද පොලීසිය විසින් සිදුකරති.


එමෙන්ම අහුංගල්ල පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ එගොඩමුල්ල ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලක බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.


අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.


අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක් වූ එගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අහුංගල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


තවද තඹලගමුව පොලිස් වසමේ ත්‍රිකුණාමලය අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 179 කණුව ආසන්නයේදී කන්තලේ දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.


අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇත.


මරණකරු අවුරුදු 24ක් වූ තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව තඹලගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි

 

More News..