brand logo
logo
ලන්ඩන් සිට කොළඹට ආ ගුවන් යානයේ ආසන ගණනට වඩා මගීන්ට ටිකට් දීලා

ලන්ඩන් සිට කොළඹට ආ ගුවන් යානයේ ආසන ගණනට වඩා මගීන්ට ටිකට් දීලා

07 September 2026 | අශිකා ජයවීර

එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළෙන් (London Heathrow Airport) 04 වැනිදා රාත්‍රි 09.40ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගුවන්ගත වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ලන්ඩන් සිට යු එල් 504 දරන ගුවන් යානයේ පැමිණි මගීන්ට විශාල අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවූ බව එම මගීහු පවසති.


මෙම ගුවන් යානය පෙරේදා [05 වැනිදා] දහවල් 12.40ට කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.


මගීන් පෙන්වා දෙන්නේ ගුවන් යානාවේ ගමන් කළ හැකි පිරිසට වැඩි පිරිසකට ආසන වෙන් කර තිබෙන බවත් ඒ හේතුවෙන් ආසන නොමැතිව ඇතැම් මගීන්ට හීත්‍රෝ සිට කටුනායක බලා යාමේ අවස්ථාව අහිමි වූ බවත්ය.


මගීන් කළමනාකරණය කරගැනීමට නොහැකි වූ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ඇතැම් මගීන්ට 04 වැනිදා ගුවන්ගත නොවන ලෙසත් 05 වැනිදා ගුවන්ගත වන ලෙසත් එලෙස සිදුකරන්නේ නම් විශේෂ වට්ටම් ද ලබාදෙන බවත් දැන්වූ බව එම මගීන් පැවැසුහ.


තමන් ඇණවුම් කළ ආහාර වෙනුවට වෙනත් ආහාර ලැබුණ බව ඔවුන් පෙන්වා දෙයි.


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා යෙදෙන බහුතරයක් මගීන් පැමිණෙන්නේ මෙම සේවයේ ඇති ගුණාත්මක භාවයට සහ ගුවන් මගීන්ට ලබාදෙන ආහාරපානවල ප්‍රණීත බව නිසා බවත් මගීන් පෙන්වා දෙයි.


නමුත් 04 වැනිදා පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු එල් 504 දරන යානයේදී මගීන්ට එම පහසුකම් වෙනදා මෙන් ගුණාත්මකව ලැබී නොමැති බවත් කිරිබත් ඇණවුම් කළ මගීන්ට චිකන් සොසේජස් ලබාදී තිබෙන බවත් මෙම ගුවන් යානයේ ගමන් කළ ගුවන් මගියකු පැවැසුවේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වතුර බෝතල් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද එයද නොලැබුණු බවය.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරාගෙන් විමසුමක් කළෙමු. එහිදී ඔහු මෙලෙස ප්‍රකාශ කළේය.


''සාමාන්‍යයෙන් ඕනෑම ගුවන් යානයක ඕවර් බුකින් එහෙමත් නැත්නම් ආසන වෙන් කරවාගැනීම් වැඩියෙන් සිදුකරනවා. එහෙම වෙලාවක අපි ඒ මගීන්ට එය දැනුම්දීලා ඊළඟ දවසේ ගුවන් ගතවෙන්න කැමැතිනම් ඒ වෙනුවෙන් විශේෂ අවස්ථා සඳහා පහසුකම් සපයනවා. අවශ්‍යම කරුණකට කෙනකුට යන්න තියනවනම් අපි අනිවාර්යයෙන්ම යවනවා. ආහාර සම්බන්ධයෙන් ගත්තොත් අපි උපරිම ගුණාත්මකව එය ලබාදෙනවා මගීන්ට අවශ්‍ය විදියට. නමුත් යම් යම් ගැටලුවක් ආවොත් අපි කියන්නේ කස්ටමර් කෙයා එකට පැමිණිලි කරන්න කියල. වතුර බෝතලයක් ලැබුණේ නැත්නම් ඕනෑම මගියෙක්ට පුළුවන් කස්ටමර් කෙයා එකට කතා කරලා ඒ ගැන පැමිණිලි කරන්න. ටිකට් පතේ අංකය සහ ආපු ෆ්ලයිට් එක ගැන සඳහන් කරලා. එහිදී අපි ඒ මගීන්ගේ පැමිණිලි විශේෂයෙන් අවධානය යොමු කරනවා.''

 

More News..