අකුසලතා ලකුණු 30ම ගත් රියදුරෙකුට ඉන් පසු වෙන දේ
21 October 2026
අකුසලතා ලකුණු 30ම ගත් රියදුරෙකුට ඉන් පසු වෙන දේ
21 October 2026
නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළේ, රියැදුරෙකුගේ අකුසලතා ලකුණු 30 ආසන්න වනවිට, කැපී ඇති ලකුණු ගණන සහ ඉතිරිව ඇති ලකුණු ප්රමාණය පිළිබඳව කෙටි පණිවුඩයක් (SMS) මාර්ගයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවය.
කෙසේ වෙතත් යම් රියැදුරෙකු අකුසලතා ලකුණු 30 සීමාව ඉක්මවා ගිය සැණින් ඔහුගේ රියැදුරු බලපත්රය අත්හිටුවූ බවට කෙටි පණිවුඩයක් ලැබෙන අතර, එම අවස්ථාවේ සිට දින 7ක් ඇතුළත අදාළ බලපත්රය පොලිසිය වෙත භාරදීම අනිවාර්ය වේ.
එලෙස භාරගන්නා බලපත්ර පොලිසියේ විශේෂ ආකෘති පත්රයක් ද සමග මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ.
සාමාන්යයෙන් දැනට පවතින සාකච්ඡාවලට අනුව මෙලෙස අකුසලතා ලකුණු පූර්ණය වන රියැදුරෙකුගේ බලපත්රය වසරක කාලයකට අත්හිටුවනු ලබයි.
නියමිත දින 7 ඇතුළත බලපත්රය භාර නොදී ප්රමාද කළහොත්, එම බලපත්රය අත්හිටුවන කාලසීමාව බලපත්රය භාරදෙන දිනයේ සිට ඉදිරියට ගණනය වන බැවින් තහනම් කාලය තවත් දීර්ඝ වේ.
කෙසේ වෙතත්, මෙලෙස තහනමට ලක්වන රියැදුරෙකු මෝටර් ප්රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලාවකට සහභාගි වන්නේ නම්, වසරක තහනම් කාලසීමාව මාස 3 දක්වා අඩු කරගැනීමේ හැකියාව පවතී.
මාර්ග වැරදි 47ක් සඳහා මෙම ලකුණු කැපීමේ ක්රමවේදය අදාළ වන අතර, අන්තරාදායක සහ අපරික්ෂාකාරී රිය ධාවනය වැනි බරපතළ වැරදි සඳහා වෙන් කර ඇති උපරිම අකුසලතා ලකුණු සංඛ්යාව 7කි. යම් රියැදුරෙකු එකවර වැරදි කිහිපයක් සිදුකළද, ඒ අතරින් උපරිම දඬුවම් හිමිවන වරදට අදාළ ලකුණු ප්රමාණය පමණක් කැපීමට කටයුතු කෙරේ.
මීට පෙර නිසි පද්ධතියක් සකස් කර නොතිබීම හේතුවෙන් මෙම ක්රමවේදය ක්රියාත්මක නොවූ අතර, අකුසලතා ලකුණු පද්ධතියට ඇතුළත් කිරීමේ බලය පොලිස් සැරයන්වරයෙකුගෙන් ඉහළ නිලධාරීන්ට පමණක් හිමිවන බවද නියෝජ්ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

