brand logo
logo
පොලිසියට බලතල දෙමු! ජනතාවට මරණ සහතික දෙමු!

පොලිසියට බලතල දෙමු! ජනතාවට මරණ සහතික දෙමු!

29 October 2026


හෝමාගම පොලිස් අත්අඩංගුවේදී විසිනව හැවිරිදි දෙදරු පියකු මිය යාම පිළිබඳ විවිධ අදහස් උදහස් පළවෙමින් තිබේ. මේ ආකාරයට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මියයාම හෝ ඝාතනය වීමෙහි වැඩිවීමක් දැකිය හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සපයන තොරතුරු අනුව 2020-2025 අතර කාලයේදී පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් 49 දෙනකු මියගොස් තිබේ. කොමිසම සඳහන් කරන පරිදි ඒ බොහෝ පුද්ගලයන් මිය ගොස් තිබෙන්නේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පැය විසිහතරක් ඇතුළතය. එසේම අවි ආයුධ ඇතුළු දේවල් පරීක්ෂා කිරීමට සැකකරුවන් රැගෙන යාමේදී ද පසුගිය වර්ෂවලදී පුද්ගලයන් තිහකට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබේ යැයි දැනගන්නට ලැබේ.


මෙහිලා අපගේ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. ඉන් පළමු වැන්න ඉහත සඳහන් කළ පරිදි අත්අඩංගුවට ගනු ලැබ ඝාතනය වූ පුද්ගලයන් පැය විසිහතරක් වැනි කාලයකදී මිය යාමය. එමගින් තහවුරු වනුයේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් පොලිස් ස්ථානවලදී දැඩි වධ හිංසාවලට ලක්වන බවය. රටේ නීතිය අනුව පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයකුට එරෙහිව කායික හිංසනය උපක්‍රමයක් හැටියට හෝ භාවිත කළ නොහැකිය. එහෙත් මෙකී ඝාතනවලින් පැහැදිලි වනුයේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගෙන් බලහත්කාරය, ප්‍රචණ්ඩත්වය වැනි උපක්‍රම යොදා ගනිමින් සාක්කි ලබා ගැනීමට සමහර පොලිස් නිලධාරීන් උත්සාහ කරන බව නොවේද? එවැනි ආකාරයට ලබාගන්නා සාක්කි තවදුරටත් නෛතික වශයෙන් වලංගු ඒවාදැයි විමසිය යුතුමය.


පසුගිය කාලවලදී පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වූ පුද්ගලයන් පිළිබඳ සේම හෝමාගම පොලිසියේදී මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් ද පොලිසිය සඳහන් කරන්නේ හතර බිහිරි කතාය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන සමහර කතා අබරා පුන් පෝයදා සිල් ගැනීමට පන්සලට ගිය විට කියූ කතාවලට දෙවැනි වන්නේ නැත. මෙහෙයුමක් අතරතුර මෙකී පුද්ගලයා රෝගාතුර වන ලදුව මියගිය බව පොලිසිය සඳහන් කරයි. ඒ අතර පොලිසිය කියන තවත් කතාවක් නම් මියගිය පුද්ගලයා ජීවත්ව සිටියදී ප්‍රදේශවාසීන්ට කරදරකාරයකු බවය.


තරුණයාට පොලිස් ස්ථානයේදී වධ හිංසාවට ලක් කර තිබෙන බව තේරුම් ගැනීමට තරම් සාධක තිබෙන බව සඳහන් කළ යුතුය. ඒ සමහර ඒවා ප්‍රබල සාක්ෂිය. එසේම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාද හොඳ ඉතිහාසයක් තිබෙන එකෙකු නොවන බවටද සමහරු සාක්කි ඉදිරිපත් කරති. ඒ සියල්ල කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එකී පොලිස් නිලධාරියාට පොලිස් ලොක්කන් සමග සබඳතා තිබෙන බවත් එනිසා ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන බවත් නැගෙන තවත් චෝදනාවකි. බොහෝ විට මෙවැනි සිදුවීම්වලදී පොලිස් නිලධාරීන්ට ලැබෙන දඬුවම් නම් ස්ථාන මාරුවක් හෝ වැඩ තහනමට ලක්වීමය. සමහරුන්ට යළි රැකියාවට වරම් ලැබෙයි. මෙවැනි පොලිස් නඩුවලදී පොලිසියට එරෙහිව සාක්කි ලබාදීමට පුරවැසියන් මැළිකමක් සහ බියක් දක්වන බව පෙනේ. අනෙක් අතට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යැයි කියන පරිදි නඩු නමන කලාව පොලිසිය නොදන්නවා නොවේ. නැති නඩු දමන හැටිත් ඇති නඩු වඩන හැටිත් පොලිසිය දනී. සාමාන්‍ය මිනිහෙක් එවැනි වරදකට චෝදනාවට ලක්වූයේ නම් ඔහු කුදලාගෙන විත් කූඩුවේ දමන අතර වැඩිදුර විමර්ශනවලට යැයි කියමින් ඔහු දිගටම රිමාන්ඩ් කර තබාගන්නා හැටිත් පොලිසිය දනී. එනිසා හෝමාගම තරුණයාගේ මරණයට චෝදනා එල්ල වන පොලිස් ලොක්කන් පොඩ්ඩන් උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතුය. එයට හේතුව සාක්කිකරුවන්ට ඔවුන්ගෙන් බලපෑමක් එල්ල වීමට තිබෙන හැකියාව ප්‍රබල හෙයිනි. එවැනි බලපෑම් කරන අයුරු පොලිසිය නොදන්නවා නොවේ.


නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා සඳහන් කර තිබුණු පරිදි ආණ්ඩුව වැඩි බලතල ලබාදීමට සූදානම් වනුයේ මෙවැනි පොලිසියකට දැයි විමසිය යුතුය. කවර චෝදනාවක් හෝ සැකයක් මත පුද්ගලයකු අත්අඩංගුවට ගත්තද නීත්‍යනුකූල අයුරින් ඔහු පිළිබඳ කටයුතු කළ යුතුය. අත්අඩංගුවේදී මිය ගිය පුද්ගලයා මත් ලෝලියෙක් විය හැකිය. මත් ලෝලීන් මෙසේ පොලිස් අත්අඩංගුවේදී මිය ගියද මත් ජාවාරම්කාරයන්ට නම් සමහර පොලිස් නිලධාරීන් හොඳට සලකන බව අප නොදන්නවා නොවේ. පහත් තැනින් යයි ගලා ජලය කියන හැටියට පොලිසිය කටයුතු කරන්නේද තරාතිරම අනුව නම් එවැනි පොලිසියක් කුමට දැයි යමෙක් විමසීම පුදුමයක් නොවේ.

 

More News..