roadBlockAd
brand logo
logo
නිල් චිත්‍රපට බලනවා කියා රතු නිවේදනයක් එයි

නිල් චිත්‍රපට බලනවා කියා රතු නිවේදනයක් එයි

03 August 2025 | හර්ෂණී දිසානායක

දිනය ඉකුත් ජූනි දහනව වැනිදාය. ජනපති අනුර කුමාර දිසානායක ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් කළ කතාවක් සමාජ මාධ්‍ය පුරා සැරිසරුවේ විදුලි සරයකටත් වඩා වේගයෙන්ය. එලෙස වේගයෙන් හුවමාරු වූ කතාවේ ජනපති අනුර කුමාර පුරවැසියන්ට විවෘත ආරාධනයකුත් කරන්නේය. ඒ රට්ටුන්ට නම ගිය මූල්‍ය යෝජනා ක්‍රමයකට ආයෝජනය කරන්නට කියාය. මසකට රුපියල් හැත්තෑ පන්දහසක් ආයෝජනය කළ විට එහි ප්‍රතිලාභය ලැබෙන්නේ දස ගුණයක් ඉක්මවා බවත් ඔහු කියන්නේය. එනමුත් ජනපතිවරයා එහෙම කතාවක් කියා තිබුණේ නැත. මේ අමුතු යෝජනා ක්‍රමය ගැන විමර්ශනය කළ පොලිසියේ ඇත්තන්ට දැනගන්නට ලැබුණේ ජනපති අනුර කුමාරගේ වීඩියෝවක් ඒ.අයි. තාක්ෂණය භාවිත කරමින් විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.


පසුගිය කාලයේදී ජනපති පමණක් නොව රටේ නම ගිය ක්‍රීඩා තරු, දේශපාලනඥයන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් ඇතුළු පිරිසක් ඒ.අයි. භීෂණයටත් දත්ත සොරුන්ගේ ග්‍රහණයට හසුවිය. දත්ත සොරුන් ගැන පරණ කතාවක් අලුත් වී කරළියට ආවේ විද්‍යුත් පණිවුඩයක් මගිනි. පසුගිය කාලයේ එක්තරා විද්‍යුත් පණිවුඩයක් රටේ ඇත්තන් අතර හුවමාරු විය.


මේ විද්‍යුත් පණිවුඩයේ විෂය ලෙසින් සඳහන් කර ඇති කොටසේ "හදිසි ප්‍රතිචාරයක් අවශ්‍යයි" කියා සටහනක් තබා ඇත්තේය. ඒ වගේම විද්‍යුත් පණිවුඩයේ ඇතුළත "අප සතුව ඔබට විරුද්ධව වාර්තාවක් ඇත. මේ සමග අමුණා ඇති ලේඛනය කියවා වහාම අප හා සම්බන්ධ වන්න." යන්නෙන් විශේෂ ඉල්ලීමකුත් කර තිබිණි. එලෙස ඉල්ලීමක් කරන්නෙත් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත වීරසූරියයි. මේ කියන්නා වූ ප්‍රියන්ත වීරසූරිය වූ කලී වැඩබලන පොලිස්පතිවරයාය.


ඔහුගේ නමින් පැමිණි විද්‍යුත් පණිවුඩයේ එවූ ලිපියේ ඇත්තේ එය කියවන ඇත්තන්ට හීන් දාඩිය දමනා කතාවකි. එනම්, අදාළ විද්‍යුත් පණිවුඩය ලැබුණු තැනැත්තා ළමා කාමුක දර්ශන, ළමා අපරාධවලට සම්බන්ධ පින්තූර ළඟ තබා ගැනීම ඇතුළු වැරැදි කිහිපයකටම නීතියෙන් වරදකරු බව එහි දක්වා ඇත්තේය. මේ බරපතළ වරද සම්බන්ධයෙන් පැය 72ක් යන්නටත් මත්තෙන් අදාළ තැනැත්තාගේ විස්තර සයිබර් අපරාධ පිළිබඳ විශේෂඥයකු වෙත යැවීමට කටයුතු කරන බව තරවටුවක් මෙන් රතු අකුරෙන් ලියා තිබිණි. එපමණක් නොව එම තැනැත්තාව අපරාධකරුවකු ලෙස හංවඩු ගසා ඔහුගෙන් අනාගතයේදීත් මෙවැනි ක්‍රියාවන්ට බය කිරීමක් ලෙස ඔහුගේ පෞද්ගලික තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත මුදා හරින බවත් එම ලිපියේ සඳහන්ය.


කොහෙන්දෝ ආ මේ ලිපියේ දිගක් පළලක් දන්නේ නැති ඇතැමුන්ට හීන් දාඩිය දමන්නේ වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනත් ඔහුගේ නිල මුද්‍රාවත් දුටු විටය. කලින් කී කරුණු කාරණා සියල්ල අසත්‍යයක් යැයි සිතුණත් ලියුමේ අවසානයේ ඇති නම, අත්සන සහ නිල මුද්‍රාව දකිනා ඕනෑම අයකුට මෙය සැබෑවක් යැයි කියා සිතන්නට තවත් කාලයක් අවශ්‍ය නැත.


එනමුත් ආණ්ඩුවේ තනතුරු තානාන්තර ගැන බලන විට වැඩ බලන පොලිස්පතිවරයා යටතේ සයිබර් අපරාධ අධීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා නැත්තේය. කොටින්ම කියනවා නම් කිසිදු තැනක සයිබර් අපරාධ මූලස්ථානයක් හෝ ඒකකයක්වත් නැති බව තහවුරු කරන්නේ පොලිස් මූලස්ථානයයි. මේ ලිපිය සම්පූර්ණයෙන්ම මෙරට පොලිසිය අපහසුතාවට පත්කිරීමට හා මහජනතාව නොමග යැවීමේ අරමුණින් සැකසූ ලිපියක් බව කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. මෙවැනි අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු කියන්නේය.


මේ කියන්නා වූ ලිපිය මුලින්ම කරළියට එන්නේ 2024 වසරේදීය. එවකට මෙහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සඳහන්ව තිබුණේ එකල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමයි. පසුව මේ වසර මුලදීත් පොලිස්පතිවරයාගේ නමින් මේ කියන්නා වූ ලිපියම හුවමාරු විය. එතැනින් මේ කියන්නා වූ අසත්‍ය ලිපි හුවමාරුව නැවතුණේ නැත. යළිත් ඒ ලිපියම ජුනි සහ ජූලි කියන්නාවූ මාසවලත් මහජනතාවගේ විද්‍යුත් ලිපිනයන් වෙත ලැබිණි. ඒ පොලිස්පතිවරයාගේ නමින් නොව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නමිනි.


මේ කියන්නාවූ අසත්‍ය විද්‍යුත් පණිවුඩයට අමතරව පසුගිය කාලයේ රටේ ප්‍රකට ඇත්තන් කීපදෙනෙක්ම දත්ත සොරුන්ගේ ග්‍රහණයට නතුවිය. මේ සොරුන් ඒ ප්‍රකට පුද්ගලයන්ගෙන් සොරකම් කළේ ඔවුන්ට නැතුවම බැරි වට්ස්ඇප් ගිණුමයි.


ශ්‍රී ලංකාව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දත්තයන්ට අනුව 2023 වසර වන විට ලංකාවේ භාවිතයේ පවතින ජංගම දුරකථන සංඛ්‍යාව දෙකෝටි අසූ නව ලක්ෂයකි. එම දුරකථනවලින් දෙකෝටි විසි අට ලක්ෂයකටම අන්තර්ජාල පහසුකම් ඇත්තේය. රටේ ජනගහනයටත් වඩා දුරකථන සංඛ්‍යාවක් තිබුණත් ඒවා භාවිත කරන නිත්‍ය අන්තර්ජාල පරිශීලකයන් සිටින්නේ මිලියන හතකට ආසන්න පිරිසකි. ඒ අයගෙන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී සාමාජිකයන්ය.


"අන්තර්ජාල සම්බන්ධ පැමිණිලි සහ සිදුවීම් ගත්තම යම්කිසි වැඩිවීමක් තියෙන්නේ වට්ස්ඇප් සම්බන්ධ සිදුවීම්වල විතරයි. මේ මාස හතට අන්තර්ජාල වංචා ගැන පැමිණිලි හාරසිය හතළිහක් විතර වාර්තා වුණා. පොදුවේ ගත්තම මේ වෙනකොට දත්ත සොරුන් අතට පත්වුණු වට්ස්ඇප් ගිණුම් සම්බන්ධ පැමිණිලි හැටක් පමණ ලැබිලා තියෙනවා. මේ විදිහට වට්ස්ඇප් ගිණුම් දත්ත සොරුන් අතට යන්නේ බොහෝ දෙනෙක්ගේ නොදැනුවත් වීම මතයි. මූලික අවස්ථාවේදී වට්ස්ඇප් එකට ඇමතුමක් එනවා බොහෝ වෙලාවට විදේශයක අංකයකින් හෝ තමන්ගේම ඇමතුම් ලැයිස්තුවේ ඉන්න අයකුගේ දුරකතන අංකයෙන් වුණත් ඇමතුමක් එන්න පුළුවන්. ඊට පස්සේ තමන්ව යම්කිසි සූම් මීටින් එකකට හෝ යම්කිසි සම්මන්ත්‍රණයකට සහභාගී කරගන්න කියලා ලියාපදිංචි කරගන්න විස්තර ඉල්ලනවා. ඒ විස්තර ඉල්ලුවට පස්සේ ඔබට කියනවා ඒ සම්මන්ත්‍රණයට සහභාගි වෙන්න ඕන අංකය ඔබට එවලා තියෙනවා අන්න ඒ අංකය ආයෙ අපිට දෙන්න කියලා. බොහෝ දෙනෙක් මේක සූම් මීටිමට ආපු අංකයක් කියලා හිතලා අර කතා කරපු කෙනාට දෙනවා. අන්න ඒ අංකය දුන් සැණින් අංකය දුන් තැනැත්තාගේ වට්ස්ඇප් ගිණුම වෙනත් පාර්ශ්වයක් අතට පත්වෙනවා. ඒ අය අර ගිණුම් හිමියාගේ දුරකථන අංක ලැයිස්තුවේ ඉන්න අයට කෙටි පණිවුඩයකින් කියනව 'මම හදිස්සියක ඉන්නේ. මට සල්ලි වගයක් එවන්න පුළුවන්ද...' කියලා. අර හැකර්ගේ පණිවුඩය විශ්වාස කරන අය අදාළ තැනැත්තගේ ගිණුමට මුදල් යවනවා. අන්තිමේදී තමන් නොදැනුවත්වම තමන් දත්ත සොරකුගේ මූල්‍ය වංචාවකට හසුවෙලා තියෙනවා." මෙලෙසින් රට්ටුන්ගේ අවධානය යොමු කළ යුතු කතාව කියන්නේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළය.


මේ වසරේ මුල් මාස හත ගෙවී යන්නටත් මත්තෙන් පන්දහස් දෙසීයකට වඩා වැඩි අන්තර්ජාල සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී තිබිණි. සාමාන්‍යයෙන් අන්තර්ජාල සම්බන්ධ පැමිණිලි වැඩියෙන්ම ලැබෙන්නේ මුහුණු පොත ආශ්‍රිතවය. එසේ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව මාසයකට දහස ඉක්මවා යන්නේය.


මේ දිනවල බොහෝ දෙනෙක්ට ගැටලුවක් වී ඇත්තේ අප කලින් කී වැඩබලන පොලිස්පතිගේ අත්සන සහ නිල මුද්‍රාව සහිත ලිපියයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් මේ ලිපිය සම්බන්ධයට වූ පැමිණිලි එකසිය ගණනක සංඛ්‍යාවක් ලැබී තිබිණි.


"මේ විද්‍යුත් පණිවුඩය ගොඩක් වෙලාවට යන්නේ රාජ්‍ය සේවකයන් සහ වැඩ කරන පිරිස් වෙතටයි. බොහෝ දෙනෙක් මේ ලිපියට බය වෙලා විද්‍යුත් පණිවුඩය එවපු අයට මුදල් යවපු අවස්ථාත් වාර්තා වෙනවා. අපි මේ ගැන කලින්ම මහජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ අතරේ ඒ.අයි. සම්බන්ධ පැමිණිලි කිහිපයකුත් අපට වාර්තා වෙලා තියෙනවා. ව්‍යාජ ලෙස සකසන ලද නිරුවත් ඡායාරූප, ඩීප් ෆේක් වීඩියෝ සහ ව්‍යාජව සකස් කරන ලද අසභ්‍ය දර්ශන උපයෝගී කරගනිමින් එම පුද්ගලයාගේ සැබෑ දර්ශන ඇතුළත් වීඩියෝ ගන්නටත් උත්සහය කිරීම් සම්බන්ධ පැමිණිලිත් අපට ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මුදල් වංචා ආශ්‍රිත සිදුවීම් වැඩියෙන්ම වාර්තා වෙන්නේ උත්සව කාලවලයි. උත්සව සමයක් වන දෙසැම්බර් කාලෙ වෙනකොටත් මේ සම්බන්ධ වංචා කිරීම් වැඩි වෙන්න පුළුවන්.


ඒ නිසා සමාජ මාධ්‍ය පරිහරණයේදී නිසි අවබෝධයකින් යුතුව, සංවේදී තොරතුරු, පෞද්ගලික තොරතුරු බාහිර පාර්ශ්වයක් වෙත හුවමාරු කිරීමෙන් තමයි මේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල මුර පද, ඕ.ටී.පී. අංකය වැනි රහස්‍ය දත්ත තවත් පාර්ශ්වයක් වෙත දෙන එකෙන් තමයි මෙන්න මේ කියන ප්‍රශ්න ඔක්කොම මතුවෙන්නේ. ඕ.ටී.පී. අංකයේ වැදගත්කම ගොඩක් දෙනෙක්ට අවබෝධයක් නැහැ. ඒ අංකය තමන්ට ලැබෙන අංකයක් පමණයි. පිටස්තර පුද්ගලයන්ට ඒ අංකය දුන්නොත් ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් සහ බැංකු ගිණුම්වල රහස්‍ය තොරතුරු තවත් පාර්ශ්වයක් අතට පත්වෙනවා. ඒ නිසා තමන්ගේ මුර පද සහ ඕ.ටී.පී. අංක වෙනත් පාර්ශ්වයන් අතට පත්කරන්න එපා. ඒ වගේම තමන්ගේ දුරකථනයට යම්කිසි යෙදවුමක් එකතු කර ගන්නවා නම් ඒ ගැනත් දෙපාරක් හිතන්න. ඔබ යම්කිසි අලුත් යෙදවුමක් බාගත ඊට කලින් ඒ ගැන තවත් කෙනෙක්ගෙන් විමසා දැනගන්න. " අවදානමට පෙර ආරක්ෂාව ගැන ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ කියන්නේ එලෙසය.


පසුගිය කාලයේදී රාජ්‍ය ආයතන සහ පෞද්ගලික බැංකු කිහිපයක්ම දත්ත සොරුන්ගේ ග්‍රහණයට නතු විය. එයින් බොහෝ අයගේ තොරතුරු තුන්වැනි පාර්ශ්වයක් වෙත යන්නට ඇති ඉඩකඩත් වැඩිය. එහෙයින් බැංකුවකින් හෝ රජයේ ආයතනයකින් හෝ කියා තම පෞද්ගලික තොරතුරු දෙවැනි පාර්ශ්වයක් විසින් ටක්කෙටම කීවත් නැවත වරක් අදාළ ආයතනයේ නිල දුරකථන අංකයට කතාකර ඒ පිළිබඳව තහවුරුකර ගැනීම අනිවාර්ය බව ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ කියන්නේය.

 

More News..