නව යොවුන් වියේ තුනෙන් එකකට මානසික ගැටලු
15 October 2023 | අනීෂා මානගේ
නව යොවුන් වියේ තුනෙන් එකකට මානසික ගැටලු
15 October 2023 | අනීෂා මානගේ
නව යොවුන් වියේ පසුවන දරුවන් අතුරින් තුනෙන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් මානසික ගැටලුවලින් පෙළෙන බවත් මෙරට සියදිවි නසාගන්නා අය අතුරින් වැඩි ප්‍රතිශතයක් නව යොවුන් වියේ පසුවන දරුවන් බවට අනාවරණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා) විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසීය.
ඇය මේ බව සඳහන් කළේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති මුල් ළමාවිය සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වූ “The Art of Parenting” වැඩසටහනට සහභාගි වෙමිනි.
නව යොවුන් වියේ පසුවන දරුවන් අතුරින් සියයට හතළිහක් පමණ මානසික ගැටලුවලින් පීඩා විඳින බවත් එය බරපතළ ප්‍රශ්නයක් බවත් ඇය කීවාය. මේ තත්ත්වයට හේතුවන කාරණා අතුරින් විශාදය, නුරුස්නා ගතිය, කේන්ති යාම, සියදිවි නසාගැනීම හෝ එයට තැත්කිරීම ආදිය මානසික ගැටලු ලෙස දැකිය හැකිය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියදිවි නසා ගැනීම දක්වා දරුවා පෙලඹීම බවද ඇය කීවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරිය මෙසේද කීවාය.
“ලංකාවේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවාම සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය වැඩියෙන්ම තියෙන්නේ නව යොවුන් වියේ සිටින දරුවන් අතරයි. එහෙම වෙන්න හේතුව දරුවන් අතර මානසික ගැටලු වැඩිවීමයි. දරුවා පොඩි කාලයේ සිටම දරුවා ගැන නිසි අවධානයක් යොමුකරලා නිසි මගට නොගත්තොත් නව යොවුන් වියේදී දරුවාට එන ගැටලු වැඩි වෙනවා. එහි වගකීම තිබෙන්නේ මවුපියන්ටයි. දරුවන් හා මවුපියන් අතර සම්බන්ධතාව වැඩි කර ගත යුතුයි. ඔවුන්ගේ ගැටලු මවුපියන් හමුවේ කියන තත්ත්වයට පත්කර ගත යුතුයි. පවුල් සෞඛ්‍ය කාර්යාංශය අලුතින්ම දියත් කළ The Art of Parenting සමාජ මාධ්‍ය වැඩසටහනට එක්වන ලෙස අපි මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා.” වෛද්‍යවරිය කීවාය.