brand logo
logo
ශ්‍රී මහා බෝධිය වදින්න එනවානම් ෆෝන් එපා

ශ්‍රී මහා බෝධිය වදින්න එනවානම් ෆෝන් එපා

26 May 2023 | සාලිය කුමාර ගුණසේකර

අනුරාධපුර, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පරිශ්‍රය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට කටයුතු කරන්නේ නම් තමන් වහන්සේ පුද්ගලිකව ඊට කැමති බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ.


ජංගම දුරකථන තරංගවලින් ජය ශ්‍රීමා බෝධීන් වහන්සේට හානියක් සිදු නොවුණද ජංගම දුරකථන භාවිත කිරීම වන්දනාකරුවන්ගේ ඒකාග්‍රතාවට බාධාවක් වන බවද උන්වහන්සේ පැවසූහ.


ජංගම දුරකථන සංඥාවලින් ජයශ්‍රී මහා බෝධීන්වහන්සේට හානියක් සිදුවන්නේද යන්න පිළිබදව තිදෙනකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් විසින් පසුගියදා සොයා බලා එහි අතුරු වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කළේය.


ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමී ක්‍රිෂ්ණරාජා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් හෙලසිරි රණතුංග ඇතුළු තිදෙනකු මෙම විද්වත් කමිටුව නියෝජනය කළ අතර, එම කමිටුවේ නියෝජිතයන්ට අටමස්ථානාධිපති නාහිමියන් පවසා ඇත්තේ ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගේ පරිශ්‍රයේ ජංගම දුරකථන භාවිතය තහනම් කරන්නේ නම් තමන් වහන්සේ පුද්ගලිකව ඊට කැමැති බවය.


එමෙන්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට රථ ගාලේ සිට ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිවිසුම දක්වා පැමිණීමට විදුලි වාහන කීපයක් යෙදීම සුදුසු බවටද අටමස්ථානාධිපති හිමියන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.


ජයශ්‍රී මහා බෝධිය වටා තිබෙන රථ ගාල්වලට ඇතුළු කරන වාහනවල දුම්වලින් බෝධීන් වහන්සේට අනතුරුදායක තත්ත්වයක් නොමැති බවත්, එම රථ ගාල්වල ගස් සිටුවන ලෙස දැනුම්දී ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමී ක්‍රිෂ්ණරාජා පැවසුවාය.


අනුරාධපුර ජය ශ්‍රීමා බෝධීන් වහන්සේ නීරෝගී තත්ත්වයෙන් තිබෙන බවද ඇය කියා සිටියාය.

 

More News..