මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
28 August 2026
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
28 August 2026
මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ 'නවෝදයාපුරම්' නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න කටයුතු කරන බවද පැවසීය.
කෙසේ නමුත් මධ්‍ය කඳුකරය පැවති තත්ත්වයට පත්වෙන්න දශන ගණනාවක් ගතවිය හැකි වුවත්, සිදුවන විනාශයන් නතර කිරීම සඳහා කෙසේ හෝ පියවර ගතයුතු බවත් සඳහන් කළේය.
මධ්‍යම කඳුකරය ශ්‍රී ලංකාවේ හඳවත බවත් පැවසූ ජනාධිපතිවරයා, එය ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙන පැවසීය. කඳු කඩා වැටීම්, උල්පත් සිඳීම්, ගංගා ඇළවේලී ගොඩවීම් දැක තිබෙන බවත් පැවසීය.
ඒ අනුව පනත සම්මත වූ පසු මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරියට සියලු බලය ලබාදෙනවා.
"අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම.
මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන. නැතුවුණොත් විශාල ව්‍යසනයකට මුහුණදෙනවා.
ආයතනවල බලතල බෙදෙයි, පුටු එහෙට මෙහෙට වෙයි, තනතුරු නාම වෙනස්වෙයි....කවුරුවත් කලබල වෙන්න එපා".
මේ අතර මලෛයගම් ජනතාව අපේම සහෝදර ජනතාවක් ලෙස මෙරට තුළ වාසය කිරීමට පූර්ණ අයිතිය සහ ජිවිතය ලබාදෙන්න කටයුතු කරන බවත්, එහි පියවරක් ලෙස වතු සමාගම්වල ගිවිසුම් 2042 දී අවසන් වූ පසු නැවත අලුත් කිරීමේදී එම ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත වන ලෙස ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
"ඉඩම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නෑ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වනවිට අවසන්වීමට නියමිතය.
දැනටමත් එම අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කර විමර්ශනය කරනවා.
අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වගන්ති සහිතව තමයි එළැඹෙන ගිවිසුම් අත්සන් කිරීමට අපි අවධානය යොමු කරන්නේ" යැයි පැවසීය.
මේ අතර යුද අවස්ථාවේ ලංකාව අතහැර ඉන්දියාවට ගිය ජනතාවට යළි ලංකාවට පැමිණීමට තිබූ බාධා ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇති බවද සඳහන් කළේය.
මලෛයගම් ජනතාව සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය,
"වර්තමාන රජයේ වගකීම සියලු ජන කණ්ඩායම්වලට අවශ්‍ය මූලික උවමනාවන් ඉටුකිරීම. ඒ සඳහා නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැයෙන් නිවාස ගොඩනැගීම ප්‍රමුඛ ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
එම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. එය සම්පූර්ණ කිරීමට බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් වැටුප් වැඩිකිරීම් සිදුකර තිබෙනවා. එය ප්‍රමාණවත් නොවුණත්, මූලික පියවර ගෙන තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය තමන්ගේ දරුවන්ට උරුමකර දීම යුක්ති සහගත නෑ.
වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේ මිය යනවා. වත්තෙම පස්වෙනවා. ඒ ජිවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එම ජීවිතයෙන් එළියට ඒමට තිබෙන ප්‍රධානම කාරණය අධ්‍යාපනය.
ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා. අඩු බර දරු උපත් වැඩිපුර තිබෙන්නේ මේ මලෛයිගම් ජනතාව තුළ. අවුරුදු 5ට වඩා අඩු මන්දපෝෂණය තියෙන දරුවන් ඉන්නේ කොහෙද, ආයු කාලය අඩු ප්‍රජාවක් ඉන්නේ කෙහෙද....ඒ මේ ජනතාව අතර.
ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, ඇස් ඇර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මෙම ජනතාව මෙම ව්‍යසනයට ලක්කර තිබෙනවා" යනුවෙන්ද පැවසීය.

