Best News Website award
brand logo
logo
උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැටලීම්

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැටලීම්

29 November 2026


එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.


එම අධිකාරිය සඳහන් කළේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.


ඒ අනුව නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, ලේබල් තොරතුරු වෙනස් කිරීම, අසත්‍ය වට්ටම් සහ නොමඟ යවන වෙළෙඳ ප්‍රචාරණ සිදු කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කිරීමට නියමිතය.


එමෙන්ම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සඟවා තැබීම සහ කෘත්‍රිම හිඟයන් ඇති කිරීම, ඉල්ලා සිටින අවස්ථාවලදී බිල්පත් නිකුත් නොකිරීම මෙන්ම අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් පිළිබඳවද විමර්ශනය කෙරෙනු ඇත.


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, නත්තල් කේක්, බේකරි නිෂ්පාදන, රසකැවිලි, තෑගි ඇසුරුම්, ඇඳුම් පැළඳුම්, පාවහන්, සෙල්ලම් බඩු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, බෝතල් කළ පානීය ජලය සහ පාසල් උපකරණ සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කිරීමට නියමිත බව එම අධිකාරිය සඳහන් කළේය.


මෙම වැඩසටහන යටතේ ප්‍රධාන තොග හා සිල්ලර වෙළෙඳසැල්, ගබඩා, සුපිරි වෙළෙඳසැල්, නිෂ්පාදන හා බෙදාහැරීමේ ස්ථාන, හෝටල්, ආපනශාලා, ජංගම වෙළෙඳුන් සහ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් විමර්ශනයට ලක් කෙරෙනු ඇත.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදන හා විධානවලට අනුකූලව වෙළෙඳ කටයුතු පවත්වාගෙන යන ලෙසද එම අධිකාරිය සියලු වෙළෙඳුන්ට දැනුම් දී තිබේ.


එම නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අධිකාරිය අවධාරණය කර ඇත.


භාණ්ඩ මිලදී ගැනීමේදී මිල ගණන් සැසඳීම, කල් ඉකුත්වීමේ දින සහ ලේබල් පරීක්ෂා කිරීම, වට්ටම් සහ අලෙවි කොන්දේසි පිළිබඳව සැලකිලිමත් වීම, වගකීම් සහතික පරීක්ෂා කිරීම සහ බිල්පත් ලබාගෙන ඒවා සුරැකිව තබා ගැනීම සඳහා කටයුතු කරන ලෙසද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


තවද අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් හෝ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා තිබේ.

 

More News..