දසුන් සහ චාමික කලකට පසු අද පිටියේ?
10 July 2025 | නදුන්ක නෙත්සර පල්ලෙකැලේ සිට
දසුන් සහ චාමික කලකට පසු අද පිටියේ?
10 July 2025 | නදුන්ක නෙත්සර පල්ලෙකැලේ සිට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය අද (10 වැනිදා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතව ඇත. කලකට පසු විස්සයි විස්ස සංචිතයට එක්වූ දසුන් ශානක සහ චාමික කරුණාරත්න අද තරගයේදී පිළිවෙළින් අංක 6 සහ 7යන ස්ථානවල ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව ඊයේ (9 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කළේය.
කණ්ඩායමේ පිතිකරණ සංයුතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අසලංක, පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දසුන් ශානක අංක 6 ස්ථානයේ හැරුණු කොට කණ්ඩායමේ අවශ්‍යතාව මත පිතිකරණයට ඉහළ ස්ථානයකින් වුව යොදාගැනීමට හැකි බවත්, වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස චාමික අංක 7 ස්ථානයේ යොදා ගැනෙන බවත් පැවසීය. මේ අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල සාර්ථක නොවූ අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කරගැනීමේ හේතුව පැහැදිලි කළ අසලංක, අවිශ්කව යොදා ගැනෙන්නේ අංක 4 ස්ථානය සඳහා බවත්, ඔහු සමගින් කමිඳු මෙන්ඩිස් එම ස්ථානයට සලකා බැලෙන බවත් සඳහන් කළේය. එමෙන්ම දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරු සහ අංක 3 යන ස්ථාන සඳහා ආදේශක පිතිකරුවකු ලෙස සංචිතයේ ඇතුළත්ව සිටින බව අසලංක සඳහන් කළේය.
මේ අතර එක්දින තරගය අතරතුර පාදයේ මාංශ පේශී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග තරගාවලියෙන් විවේක ගන්වා, වෛද්‍ය උපදෙස් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දඟ පන්දු යවන්නන් ලෙස මහීෂ් තීක්ෂණත්, ආබාධයට ලක්වූ වනිඳුගේ ස්ථානය සඳහා ජෙෆ්‍රි වැන්ඩර්සේත් යොදා ගැනීමට නියමිතව ඇත.
තරගාවලියේ දෙවැනි තරගය දඹුල්ල ක්‍රීඩාංගණයේත්, තෙවැනි තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත් පැවැත්වෙන අතර ඒ පිළිබඳ අදහස් දැක්වූ චරිත්, ඉදිරි ලෝක කුසලානවලදීත් එවැනි අභියෝග තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බැවින් ක්‍රීඩාංගණ වෙනස්වීම කණ්ඩායමේ සූදානම සඳහා වාසිදායක බව සඳහන් කළේය.
අද තරගය නැරඹීම සඳහා මහනුවර සහ අවට ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි උනන්දුවක් ඊයේ සිටම දක්නට ලැබුණු අතර රු.500 ටිකට් හැරුණු කොට සෙසු මිල ගණන්වල ටිකට් පත් ඊයේ රාත්‍රියවන විටම අවසන්ව ඇති ආකාරය දක්නට ලැබුණි. තරගය අද රාත්‍රි 7ට ඇරැඹීමට නියමිතය.
ක්‍රීඩා කළ හැකි කණ්ඩායම
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, දසුන් ශානක, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, එෂාන් මාලිංග, නුවන් තුෂාර