ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
20 July 2026 | කේ.එස්. උදයකුමාර
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
20 July 2026 | කේ.එස්. උදයකුමාර
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ පනත් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සන්කාර ශාන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළේය.
" ස්වාමීනි ...2015 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාවය සැත්කමක් මාර්ගයෙන් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැණියි. මේ ආකාරයට ලිංගික වෙනස් වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරනවා. ඒකත් සම්පූර්ණයෙන්ම වැරදියි." යනුවෙන් පැවසුවේය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ එම අයිතිවාසිකම් උල්ලංඝනය සිදුවී මාසයක් තුළ පමණයි. නමුත් මේ පෙත්සම්කරු 2015 වසරේ සිට 2024 වසර දක්වා නිකුත් කර තිබෙන චක්‍රලේඛ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා. නමුත් ඔහු මේ නඩුකරය ඉදිරිපත් කරන්නේ 2026 වසරේ. ඒ අනුව මේක කාලාවරෝධී වූ නඩුකරයක්." ඒ අනුව අදාල පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ආචාර්ය රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනී.. මේ පෙත්සම තුළින් පෙත්සම්කරු පාර්ලිමේන්තුව මගින් සම්මත කළ 2024 අංක 37 දරණ කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත බල රහිත කරන ලෙස ඉල්ලා තිබෙනවා. එය පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ පනතක්. ඊට කථානායකවරයා අත්සන් යෙදූ අවස්ථාවේ සිට එය රටේ නීතියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට එවැනි නීත්‍යානුකූල ආකාරයෙන් සම්මත වූ පනතක් බල රහිත කරන ලෙස නියෝග නිකුත් කිරීමට හැකියාවක් නැහැ. ඒක ජනතා පරමාධිපත්‍යයට පටහැනියි." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසුවාය.
ඉන් අනතුරුව කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්" මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව නම් කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් ඉදිරිපත් කළ නොහැකි බවට. ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් ඉදිරිපත් කළ හැක්කේ නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් පමණයි. නමුත් එම නීතිමය ප්‍රතිපාදනය මෙම පෙත්සමේ අනුගමනය කර නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් විවෘත අධිකරණයේ පැවසුවේය.
එයින් අනතුරුව තවත් අතරමැදි පෙත්සම්රුවන් කීප දෙනෙකු වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
අතරමැදි පෙත්සම්කරුවන්ගේ දේශන අවසන් වීමෙන් පසුව පෙත්සම්කරු ඇමතු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා " අතරමැදි පෙත්සංකරුවන් ප්‍රකාශ කර තිබෙනවා මෙම ක්‍රියාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේදැයි නිශ්චිතව ඔබ පැහැදිලි කර නොමති බව. මේ හරහා ඔබගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද? " යනුවෙන් විමසුවේය.
ඊට පිළිතුරු දුන් පෙත්සම්කාර ශාන්ත ජයතිලක මහතා,
" ස්වාමීනි... 2015 වසරේ සිට නිකුත් කර තිබෙන චක්‍ර ලේඛ තුළින් ඕනෑම කාන්තාවකට හෝ පිරිමියෙකුට අවස්ථාව සැලසෙනවා තමන්ගේ ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීමට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් අනුව තමයි එය සිදුවන්නේ. ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව එවැනි ලිංගික අනන්‍යතා වෙනස් කර ගැනීමක් සිදුකිරීමට හැකියාවක් නෑ... ස්වාමීනි. මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක්" යනුවෙන් සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී පෙත්සම්කරු වෙත තවත් ප්‍රශ්නයක් මතු කළ අගවිනිසුරුවරයා " හරි... ඒකෙන් ඔබට තිබෙන ප්‍රශ්නය කුමක්ද?" යනුවෙන් විමසුවේය.
ඊට ප්‍රතිචාර දැක්වූ පෙත්සම්කරු" මේක තමයි ප්‍රශ්නය ස්වාමීනි ...සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කරන්න නීතියෙන් බලය නෑ. ඒකයි මා සඳහන් කරන්නේ. " යනුවෙන් කියා සිටියේය.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගවිනිසුරු වරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළව අතරමැදි පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගන්නා බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බවත් නියෝග කළහ.

