ප්‍රතිසංස්කරණවලදී සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා සකස් විය යුතුයි - අගමැති
19 August 2026
ප්‍රතිසංස්කරණවලදී සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා සකස් විය යුතුයි - අගමැති
19 August 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පවතින ක්‍රමය වෙනුවට නිර්මාණය වන නව අධ්‍යාපන පද්ධතිය තුළින්, සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්වා යා හැකි මාර්ග සකස් විය යුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ විෂයන් නිසි පරිදි ස්ථානගත විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ සමස්ත ලංකා හෙද සංගමයේ නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළාය.
හෙද වෘත්තීය අධ්‍යාපනය ඩිප්ලෝමාවකට සීමා නොවී උපාධිය ලබා දීම දක්වා ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය උසස් අධ්‍යාපන පහසුකම් ඇති කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඒ සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාදීම සහ හෙද උපාධිය ලබා දීම සඳහා වන අධ්‍යාපන මාර්ග සිතියම සකස් කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය.
ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යනු අරමුණු අතින් වෙනස් වන මාර්ග දෙකක් බව අවබෝධ කර ගනිමින්, එම මාර්ග දෙකෙන්ම දරුවන්ට උපාධියක් ලබා ගැනීමට සහ වෘත්තියකට පිවිසීමට ක්‍රමවේද සකස් විය යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් වෘත්තිය අධ්‍යාපනය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීන් වන සාත්තු සේවක සහ වැඩිහිටි සුරැකුම් සේවා වැනි ක්ෂේත්‍රවල නියැලෙන්නන්ටද උසස් අධ්‍යාපනය දක්වා හැදැරීමට හැකි වන පරිදි අධ්‍යාපන ක්‍රමවේදය සැකසීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.
හෙද උපාධිය ලබා දීම තුළින් සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය මෙන්ම හෙද සේවාවේ ගුණාත්මකභාවයද එකවර සංවර්ධනය වන පරිදි කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

