සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදුවි ඇති බවට සැකයක්
13 March 2026
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදුවි ඇති බවට සැකයක්
13 March 2026
වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදුවි ඇති බවට සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළව සේවා ව්‍යවස්ථාවක් (Service Minutes) ස්ථාපිත කිරීමට සම්බන්ධ යැයි පවසමින් ලිපියක් ඇතුළත් කර ඇති අයුරු දක්නට ලැබෙන බව එම සංගමය සඳහන් කරයි.
මෙම ලිපිය රාජ්‍ය ආයතනයක් මඟින් නිකුත් කරන නිල ලේඛනයක් යැයි බැලු බැල්මට නොපෙනෙන අතර ලිපි ශිර්ෂයක් නොමැතිව, දිනයක් නොමැතිව, යොමු කරන ලද පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් නොමැතිව, සම්බන්ධීකරණ නිලධාරියෙක් සඳහන් කර නොමැතිව සකස් කර ඇති අවිධිමත් ලේඛනයක් පමණක් බව නිරික්ෂණය වෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඇති මෙම ලිපියේ නිත්‍යානුකූලභාවය සහ නිලභාවය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් මතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
මේ පිළිබඳ පැහැදිලි කරගැනිම සඳහා අදාළ ලේඛනයේ කැඳවුම්කරු ලෙස සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සන්නිවේදනය කිරීමට කිහිප වතාවක් උත්සාහ කළද ඔහුවද සම්බන්ධ කරගත නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
"මීට ඉහතදීත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පද්ධතීන්ට අනවසර ඇතුල්වීම් නිසා සිදුවූ ගැටලු රාශියක් පිළිබඳව අප දැනුවත්ය. එම නිසා මෙසේ වගකීම් විරහිත ලෙස සහ අවිධිමත් ලෙස පළවීමක් සිදුවීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අපහසුතාවයට පත් කිරීමට කළ උත්සාහයක් ද යන්න සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විමර්ශනයක් කළ යුතු අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද එය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා වෙත ලිඛිතව දන්වා ඇත." යනුවෙනි.

