brand logo
logo
රාජසභා ගොඩනැගිල්ල කැඩූ බැකෝ රියැදුරුට අද දුන් නියෝගය

රාජසභා ගොඩනැගිල්ල කැඩූ බැකෝ රියැදුරුට අද දුන් නියෝගය

11 June 2024 | කේ.එස්.උදයකුමාර

කුරුණෑගල ඓතිහාසික බූවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර 03 ක සිර දඬුවම සහ එය අනුමත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලා බැකෝ රථ රියදුරෙකු වන ලක්ෂමන් ප්‍රියන්ත විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් රුපියල් ලක්ෂයක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.


අදාල බැකෝ රථ රියදුරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. 


2020 වසරේ ජූලි මස 14 වන දා හෝ ඊට ආසන්න දිනයකදී පෞරාණික වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එවක කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ සහ මෙහි පෙත්සම්කාර බැකෝ රථ රියදුරු ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලදී. 


එම අධි චෝදනා ඉකුත් වසරේ දෙසැම්බර් මස 14 වන දා කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත්හ. 


ඉන් අනතුරුව ඔවුන්ට වසර 03 බැගින් සිර දඬුවම් නියම කළ අධිකරණය රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ පනස් දහසක වන්දියක් සහ රුපියල් 50000/- බැගින් දඩ ගෙවන ලෙසත් එක් එක් විත්තිකරුට නියෝග කර තිබුණි. 


කුරුණෑගල මහාධිකරණය හමුවේ පැවති එම නඩු විභාගයේදී තමන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවත් එබැවින් එම තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව නිදහස් කරන ලෙසත් ඉල්ලා අදාළ බැකෝ රියදුරු ලක්ෂ්මන් ප්‍රියන්ත විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය. 

එම ප්‍රතිශෝධන පෙත්සම දීර්ඝ ලෙස සලකා බැලූ අභියාචනාදීකරණය ඉන් අනතුරුව එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.


එම තීන්දුවට එරෙහිව විත්තිකාර බැකෝ රථ රියදුරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි. 


එය අද සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මූලික විරෝධතාවක් මතු කරමින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනිව ගොනුකර තිබෙන බවත් එබැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියේය.


එහෙත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. 


දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රජයට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවීමට පියවර ගන්නා ලෙසත් පෙත්සම්කාර බැකෝ රථ රියදුරට නියෝග කරන ලදී.

 

More News..