SLASSCOM National Ingenuity Awards සම්මාන උළෙල ප්‍රකාශයට පත්කරයි
10 March 2026
SLASSCOM National Ingenuity Awards සම්මාන උළෙල ප්‍රකාශයට පත්කරයි
10 March 2026
මෙරට නවෝත්පාදන ආර්ථිකය ගොඩනැංවීමේ අභිලාශය පෙරදැරි කරගනිමින් 2030 වන විට මෙරට ආර්ථිකය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක් උත්පාදනය කිරීම වේගවත් කිරීම අරමුණු කරගනිමින් Sri Lanka Association for Software and Services Companies (SLASSCOM) 8 වන වරටත් දියත් කරනු ලබන මෙරට නවෝත්පාදනයන් සොයා යන්නන්ගේ කූටප්‍රාප්තිය National Ingenuity Awards 2026 පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පසුගියදා කොළඹදී සිදුකෙරිනි.
දැනුමෙන් සන්නද්ධ නවෝත්පාදන විශිෂ්ඨතමයන් හඳුනාගැනීමේ සුවිශේෂී වේදිකාවක් ලෙස පිළිගන්නා SNIA සම්මාන උළෙල අසමසම නිර්මාණශීලී අදහස්, වාණිජ ශක්‍යතාවය පිළිබදව තක්සේරුකළ හැකි සමාජ බලපෑමක් සිදුකළ හැකි පරිවර්තනීය විසඳුම්, සමාජ බලපෑමකට ලක් කළ හැකි දිරිමත් අදහස්, කාලානුරූපීව වර්ධනය කළ හැකි මෘදුකාංග නිෂ්පාදන වැනි අංශ හරහා මෙම සම්මාන ප්‍රධානය සිදුකරනු ලබයි. SNIA සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි සමාගම්, 2022 ජනවාරි 1 වනදාට පසු ආරම්භ කරන ලද තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් නව්‍ය ව්‍යාපාර (ICT Startups), විශ්ව විද්‍යාල ශිෂ්‍යන් හා 9 වසරෙන් ඉහළ පාසැල් සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැක. සියලුම ඇතුලත් කිරීම් නිල සම්මාන වෙබ් අඩවියේ සඳහන් ප්‍රවේශය හරහා ඉංග්‍රීසි මාධ්‍යයයෙන් මෙම https://awards.judgify.me/snia2026 සබැදිය හරහා ඉදිරිපත් කළ හැකිය.
2026 වසරේදී පවත්ව මෙම 8 වන අදියර ශ්‍රී ලංකාවේ ඩිජිටල් භූ දර්ශනයේ විවිධත්වය නිරූපණය කරන පුළුල් කාණ්ඩ රැසකින් සමන්විත වේ. මූල්‍ය තාක්ෂණවේදය, කෘෂි තාක්ෂණවේදය, සෞඛ්‍ය තාක්ෂණවේදය, නිෂ්පාදන අංශය, ප්‍රවාහන හා සැපයුම් ක්‍ෂේත්‍රය, සිල්ලර වෙළදාම, ආගන්තුක සත්කාරක ක්‍ෂේත්‍රය , අධ්‍යාපන තාක්ෂණවේදය, රාජ්‍ය සේවා හා සාමාන්‍ය නවෝත්පාදනය වැනි ක්‍ෂේත්‍රයන් මෙහිදී විශේෂයෙන් ආවරණය කරයි. එමෙන්ම වසරේ හොඳම නව්‍ය ව්‍යාපාරය මෙන්ම වසරේ හොදම කාන්තා තාක්ෂණවේදිනිය, අනාගතයට සූදානම් වගකීම් සහිත නැගී එන ව්‍යාපාරය හදුනාගැනීම වැනි තරඟකාරී අංශයන් මේ සම්මාන සඳහා හදුන්වා දී ඇත. ශාස්ත්‍රීය කාණ්ඩය යටතේ පාසැල් හා විශ්ව විද්‍යාල ව්‍යාපෘතීන් අන්තර්ගත කර ඇති අතර, Tech-for-Good හා Innovation in Internal Processes හා RPA වැනි සම්මාන හරහා සමාජයට හිතකර නවෝත්පාදනයන් හඳුනාගැනීමට මග පෑදෙනු ඇත.
ගෝලීය වෙළඳපොල තුළ බුද්ධිමය දේපළ අයිතිය, නවෝත්පාදන නිෂ්පාදන, බැරෑරුම් තාක්ෂණ හැකියාවන් වැඩි වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන කාලයක, පරිමාණය කාලානුරූපීව වෙනස් කළ හැකි මෘදුකාංග සේවා මත පදන වෙමින් වටිනාකම් නිර්මාණය කරමින් සේවා සැපයීමෙන් ඔබ්බට ගොස් හැකියාව උරගා බැලීමට කාලය මෙරට නවෝත්පාදනකයින්ට උදාවී ඇත. එම හැකියාවෙන් දේශයේ අභිවෘදියට තීරණාත්මක සාධකය බවට පත් වීමට මෙම සම්මාන උළෙල තෝතැන්නක් බව කිවයුතුමය. 2026 SNIA වේදිකාව දේශීය දක්ෂතා සහිත පිරිස් තෝරාගනිමින් ඔවුන් ලෝකයට හදුන්වා දෙමින් ප්‍රතිලාභ ලබා දීමෙන් හා සම්මානයට පාත්‍ර කිරීමෙන් පරිවර්තනීය ගමන් මගකට මෙරට තොරතුරු තාක්ෂණය රැගෙන යෑමට මාවතක් විවරවනු ඇත.
“තාක්ෂණික දියුණුවෙන් ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යාමට SLASSCOM නිරන්තරයෙන් සූදානම්, තාක්ෂණික නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාව ලෝකය හා සමඟ තරඟ කළ හැකි මට්ටමට ඔසවා තැබීමSLASSCOM හි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන් SNIA සම්මාන හරහා දේශීය ව්‍යවසායකයින්ගේ හා සිසුන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීමට පියවර ගෙන ඇත. මේ හරහා රට තුළ බුද්ධිමය සම්පත් වර්ධනය වන අතර, දැනුම මත පදනම් වූ ශක්තිමත් ආර්ථිකයක් කරා යන ගමන වේගවත් වනු ඇති” බව SLASSCOM හි සභාපතිනී ශෙහාන සෙනවිරත්න මහත්මිය අදහස් දක්වමින් කියා සිටියාය.
SLASSCOM National Ingenuity Awards කණ්ඩායමේ සභාපති හා SLASSCOM හි දෙවන උප සභාපති හරිඳු අබේගුණරත්න අදහස් දක්වමින් කියා සිටියේ “ ශ්‍රී ලංකාවේ අනාගත වර්ධනය හා පැවැත්ම අප නිර්මාණය කරන බුද්ධිමය දේපළ මත පදනම් වේ, නවෝත්පදන දර්ශකය ඉහළ නැංවීමට අප ක්‍රියාත්මක වීමෙන් ඔබ්බට ගොස් නිසි හිමිකාරීත්වයක් සහිත ඉදිරි පිම්මකින් නව ජවයක් ලබාගත යුතුයි, ගෝලීය පිළිගැනීම සහිත නිරන්තරයෙන් වර්ධනය කළ හැකි අවස්ථානුකූලව යම් යම් වෙනස්කම් වලට භාජනය කළ හැකි තාක්ෂණික නිෂ්පාදන ගොඩ නැංවිය යුතුයි, ඒ සඳහා සමාජීය වටිනාකම්ක් ලබා දෙන විසඳුම් නිරතුරුව හඳුනාගනිමින් දක්ෂතාවය හා ව්‍යවසායකයින් දිරිමත් කළ යුතුයි. එයට අවශ්‍ය ව්‍යුහගත වේදිකාවක් මෙම National Ingenuity Awards හරහා එළිදැක්වෙන බව ඔහු අවසන් වශයෙන් කියා සිටියේය.
මේ සියල්ල තෝරා ගැනීම ඉතා විනිවිදභාවයකින් බහු අදියරයන්ගේ ඇගයීමේ ක්‍රියාවලියවලියකට යටත්ව සිදුවනු ඇත. මූලික පරීක්ෂාවේ සිට පළාත් සමාලෝචනය හරහා අවසන් වශයෙන් ක්‍ෂේත්‍රයේ විශේෂඥ මණ්ඩලය ඉදිරියේ ජාතික තලයට ගමන් කළ හැක. මෙම සියලුම අංශයන් හි ඉදිරිපත් කිරීමේ ආකෘතිය පරිමාණය හා නව්‍යකරණය, ප්‍රායෝගීකරණය හා ඒ හරහා සිදුවන බලපෑම මත පදනම්ව තක්සේරු කරනු ලැබේ.
අයදුම්පත් දැන් විවෘත වී ඇති බැවින් රටපුරා ඇති සමාගම්, ආරම්භක ව්‍යාපාර, පාසැල් හා විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම තරුණ නවෝත්පාදකයින්ට ශ්‍රී ලංකාවේ අනාගත වර්ධනය හැඩගන්වන, මෙරට දිශානතිය වෙනස් කරන ඔබගේ නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත්කරන ලෙස SLASSCOM හදවතින්ම ආරධනා කර සිටී.

