brand logo
logo
වෙන්දේසියේ විකිණෙන ගොවියෝ

වෙන්දේසියේ විකිණෙන ගොවියෝ

14 July 2026


මේ දිනවල ටෙලිවිෂන්, රේඩියෝ, පුවත්පත් ප්‍රවෘත්ති නරඹද්දී, ශ්‍රවණය කරද්දී හා කියවද්දී නොවරදවාම ප්‍රධාන සිරස්තල අතරට එන ප්‍රවෘත්ති කීපයක් තිබේ. මීගමු බන්ධනාගාර ගැටුම, ඩෙංගු ව්‍යාප්තිය, ඇමරිකා-ඉරාන යුද්ධය, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා ගොවි උද්ඝෝෂණයි. මෙයින් ගොවි විරෝධතා රටට අලුත් දෙයක් නොවේ. දැන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව සටන් පාඨ කියන ගොවි නායකයන්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කාලයේත් මෙයාකාරයෙන් හැසිරුණු සැටි රටට මතකය.


එදවස ගොවි සටන්වල පෙරමුණේ සිටි කිහිපදෙනෙක්ම වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය පදවි දරති. කෘෂිකර්ම අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම ඒ අතර වෙති. විපක්ෂයේ සිටි කාලයේදී ඔවුන් වී ගොවිතැන පිළිබඳ ප්‍රදර්ශනය කළ අවබෝධය හා කැක්කුම ගත් කළ ගොවීන් රට කරවන්නට ඔවුන් තෝරාගැනීම පුදුමයක් නොවේ. සිය ගැටලු පිළිබඳ අතැඹුලක් සේ දන්නා නායකයන් බලයට පැමිණි කළ තමන්ට හොඳ කලදසාවක් උදාවේ යැයි ඔවුන් සිතුවා නොඅනුමානය.


එහෙත් සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. වී ගොවීන් පාරට බැස රටටම ඇසෙන්නට දිගින් දිගටම උද්ඝෝෂණය කරද්දී ඒ අසන්නට එකම දේශපාලනඥයෙක්වත් නැත. ඔවුන් ගොවි දුක අසන්නට නොඑනවා පමණක් නොවේ. හැත්තෑහය අවුරුදු සාපය හැටියට ඔවුන් විසින් හැඳින් වූ යුගයේදීවත් නොකෙරුණු පරිදි ගොවීන්ට සමච්චල්ද කරති. ගොවීන් විසින් ගොවීන්ගේ සුබසාධනය සඳහා පත්කරගත් ගොවි නායකයන්ගේ ආණ්ඩුවෙන් මෙබඳු කෙවිටි පහරවල් කන්නට වෙතැයි ඔවුන් තුන් හිතකින්වත් සිතන්නට නැත.


ආණ්ඩුවේ එක් දේශපාලනඥයෙක් ගොවි උද්ඝෝෂණ ආරම්භ කෙරුණු අලුතම කියා තිබුණේ පාරට බැස සිටින්නේ ගොවීන් නොව ගොවීන් ලෙස වෙස්වළා ගත් පිරිසක් බවය. තවත් එක් දේශපාලනඥයෙක් කියා සිටියේ ගොවි නායකයන් යැයි කියන්නේ කසිප්පුකාරයින් වගය. අවසාන පදය ගැහුවේ අන් කවුරුවත් නොව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකය. ඔහු සිය ඥාණාන්විත භාවය ප්‍රදර්ශනය කරමින් කීවේ මඩ සෝදා ගත් කළ රජකමට සුදුසු යැයි රොබට් නොක්ස් සඳහන් කළේ උසස් කුලයේ ගොවීන් මිස රටේ සියලු ගොවීන් නොවන බවය. ඔවුහු මෙසේ වීවලට සාධාරණ සහතික මිලක් ඉල්ලා සිටි ගොවීන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙනවා වෙනුවට ප්‍රසිද්ධියේ ඔවුන් පහත් කොට කතා කරමින් සිටිති.


ජාජබ බලයට පැමිණීමට පෙර රටට කියා සිටියේ වී ගොවීන්ගේ සියලු ප්‍රශ්නවලට මුල හාල් මෝල් හිමියන් බවය. හාල් මාෆියාව යනුවෙන් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබූ ව්‍යාපාර ජාලයේ සිටින්නේ මුදලාලිලා හතරදෙනෙකු පමණක් බව උහු සිය දේශපාලන වේදිකාවලදී හඬ නගා කීහ. සාපලත් දේශපාලනඥයන් ඔවුන්ගෙන් යැපුණද අවංක දේශපාලනයක් කරන තුමුන් බලයට පැමිණි වහාම මාෆියාව විනාශ කරන බවට උහු දිවුරා පොරොන්දු වූහ. දැන් ආණ්ඩුව පත්වී අවුරුදු එකහමාරකටත් වැඩිය. සුනුවිසුනු කරන්නේ යැයි කියූ හාල් මාෆියාව තවමත් සැපෙන් සතුටින් සිටී. ආණ්ඩුවේ නායකයෝද ඔවුන් සමග එකට කති බොති. වී ගොවියෝ කුමකින් කුමක් සිදුවී දැයි තේරුම් ගත නොහී බලා සිටිති.


නිෂ්පාදනය සඳහා වැයවන මුදල පියවාගෙන එදිනෙදා ජීවිතය ගෙවීමට සෑහෙන මුදලක් වී අලෙවියෙන් තමන්ට ලැබෙන්නේ නැතැයි යනු ගොවීන්ගේ දුක් ගැනවිල්ලයි. රුපියල් එකසිය පනහක සහතික මිලක් ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ නිසාය. දැනට ආණ්ඩුවේ මැති ඇමැතිකම් දරන ගොවි නායකයන් හැටියට එකල පෙනී සිටි තැනැත්තන්ද එවකට ඉල්ලා සිටියේ ඒ මුදලමය. ගොවි සටන්වල පෙරමුණේ සිටි එක් දේශපාලනඥයෙක් පසුගියදා එකල තමන්ද රුපියල් එකසිය පනහ ඉල්ලා සිටි බව පිළිගනිමින් කියා සිටියේ එසේ කළේ එදා පැවති තත්ත්වය අනුව බවය. එහෙත් සහතික මිල එදාට වඩා අද අඩුවීමට නම් වී නිෂ්පාදන වියදම හා රටේ ජීවන වියදම අඩුවී තිබිය යුතුය. ඒ කාරණා දෙකේම ඉතා පැහැදිලි වැඩිවීමක් දකින්නට තිබෙද්දී සහතික මිල අඩුවිය යුතු හේතුව කුමක්දැයි ඒ දේශපාලනඥයා පෙන්වා දුන්නේ නැත.


තමන්ගේ ජීවිතය ඉතා දුෂ්කර වී ඇතැයි ගොවීන් නගන හඬ කෙතරම් සැබෑවක්දැයි පෙන්නුම් කරන විශේෂාංග ලිපියක් ජූලි 12 වැනිදා "සතිඅග අරුණ" පුවත්පතේ පළ විය. ඒ දෙකොණ ගැටගසා ගැනීමට නොහැකිව ක්ෂුද්‍ර මූල්‍ය සමාගමකින් ණයක් ලබාගත් ගොවි පවුල් කිහිපයකට ඒ ගෙවාගැනීමට නොහැකිවීම නිසා අදාළ සමාගම ඔවුන්ගේ ගේදොර බඩුමුට්ටු වෙන්දේසියේ විකිණීමට පියවර ගෙන ඇති කතාවකි. සමාගමට වෙන්දේසි කිරීම සඳහා ඔවුන්ගේ ගෙවල්වල සුඛෝපභෝගී යැයි කියනු ලබන භාණ්ඩ කිසිවක් ඇත්තේ නැත. වෙන්දේසි කරන්නට යන්නේ නිදාගන්නා ඇඳ, ඇඳුම්කැඩුම් දමන කබඩය හා වාඩිවන ප්ලාස්ටික් පුටු ආදියයි. මින් සමහරුන්ගේ භාණ්ඩ වෙන්දේසි වන්නේ ඔවුන් තමන් ලබාගත් ණය ගෙවා තිබුණද, ඔවුන් ඇප වූ පුද්ගලයන්ට ගෙවන්නට නොහැකි වූ ණය වෙනුවෙනි." වී ගන්නේ කුණු කොල්ලෙට නිසා ණය ගෙවන්නට විදියක් නෑ" යි ඔවුහු කියා සිටිති.


ආණ්ඩුවේ මැතිඇමැතිවරුනි, කරුණාකර අප සඳහන් කළ මේ ලිපිය කියවා බලන්න. එය ගොවියා හා ගොවිතැන ගැන කිසිවක් නොදන්නා නාගරිකයන් වුවත් කම්පා කරවන්නකි. ඒ කියවූ පසුවද 2024 සැප්තැම්බර් මාසයෙන් පසු ඔබ ජීවත්වන්නේ මහ පොළොවේ පය ගසාගෙන නොවන බව ඔබට අවබෝධ වනු ඇද්දැයි අපි නොදනිමු. එහෙත් රටට නම් ඒ අවබෝධ වෙමින් පවතියි.

 

More News..