brand logo
logo
දෙවිනුවර පෙරහරට දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර පෙරහරට දැඩි ආරක්ෂාවක්

29 July 2026 | ජයසිරි පේදුරුආරච්චි - මාතර


විවිධ තර්ජන හමුවේ අර්බුදයකට මුහුණ දී තිබූ දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 6 වැනි පේලි පෙරහර හෙවත් කාවාඩි පෙරහර සඳහා කාවාඩි නැටීමට සියලු කාවාඩි කණ්ඩායම් සඳහා අවස්ථාව දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රමුඛ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් කැමැත්ත ප්‍රකාශ කිරීමට විරෝධය පා වසර ගණනක සිට පෙරහරේ සංවිධායන කටයුතු භාරව සිටි පෙරහර සංවිධාන කමිටුව පෙරේදා (27 වැනිදා) රාත්‍රි පැවැති 5 වන පේලි පෙරහරේ සිට ඉන් ඉවත්වීමට පියවර ගෙන ඇත.


කලක සිට පෙරහර සංවිධායක කමිටුවේ කටයුතු කරමින් සිටි 38 දෙනකු එලෙස ඉවත්වීම නිසා පෙරහර සංවිධානය කිරීම ග්‍රාම නිලධාරීන් කිහිප දෙනෙකු හා පොලිසිය එක්ව සිදුකළද පෙරහරේ විධිමත් භාවය පවත්වා ගැනීමට ගැටලුවක්ව පැවති අයුරු දක්නට ලැබිණි.


පසුගිය 23 වැනිදා සිට ආරම්භ කළ ඇසළ පෙරහරේ පේලි පෙරහර සියල්ල සඳහා අලි ඇතුන් ගමන් කිරීම සිදු වුවද පෙරේදා (27 වැනිදා) රාත්‍රියේ පැවැති 5 වන පේලි පෙරහර සඳහා අලි ඇතුන් එක්කර නොතිබීම විශේෂත්වයක් විය.


ඇති වූ තත්ත්වය පිළිබඳ විමසීමේදී පොලිසිය සඳහන් කළේ ඇත්ගොව්වන් කිහිප දෙනෙකු බීමත්ව සිටීමත්, පෙර පුහුණුවීම් සඳහා එක්ව සිටි කාවාඩිකරුවන් මල් වෙඩි ගැසීමත් හේතුවෙන් අලි ඇතුන්ගේ කුලප්පුවීමක් සිදුවේය යන සැකය මත පෙරහරට අලි ඇතුන් එක් නොකිරීමට කටයුතු කළ බවයි.


ඒ අතර පෙරහරේ අලි ඇතුන් ගමන් කිරීම සිදුවන අතර අලි ඇතුන් ඉලක්ක කර අහස්කූරු දල්වා ඔවුන් දෙසට එවීමට සූදානමක් පවතින බවට කටකතා පැතිර ගියද එවන් තත්ත්වයක් ඇතිවූයේ නැත. එලෙස අහස්කූරු යොමු කළේ නම් අලි ඇතුන් කලබලවී යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකිරීමටද ඉඩ තිබිණි. අලි ඇතුන් පෙරහරට එක් නොකිරීම නිසා යම් හෙයකින් ඇතිවන්නට ඉඩ තිබූ අනාරක්ෂිත තත්ත්වයද ඉවත්ව ගොස් තිබිණි.

 

More News..