brand logo
logo
ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවිය පිළිබඳ දිවයින පුරා විශේෂ වැටලීම්

ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවිය පිළිබඳ දිවයින පුරා විශේෂ වැටලීම්

01 November 2026


වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කිරීම් සම්බන්ධව දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.


ඒ අනුව පසුගිය 27 වැනි දින සිට 30 වැනි දින දක්වා දිවයිනේ ප්‍රදේශ රැසක විශේෂ වැටලීම් සහ වෙළෙඳපොළ පරීක්ෂණ එම අධිකාරිය විසින් සිදුකර ඇත.


වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් සහ ග්‍රීස් ආනයනය කිරීම, නිෂ්පාදනය සහ අලෙවිය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නීතිමය අවශ්‍යතා ක්‍රියාත්මක වන්නේදැයි යන්න පරීක්ෂා කිරීම මෙම වැටලීමේ අරමුණ වී තිබේ.


ඒ අනුව ලිහිසි තෙල් සහ ග්‍රීස් සම්බන්ධයෙන් පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කර ඇති විධි විධාන උල්ලංගනය කර ඇති බවට සැක කෙරෙන සිද්ධි 98ක් වාර්තා වී ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.


තවද එංජින් ඔයිල්, ගියර් ඔයිල්, විවිධ ලිහිසි තෙල් වර්ග සහ ග්‍රීස් අලෙවි කළ වෙළෙඳ ආයතන මෙම පරීක්ෂණවලට ලක්ව ඇති අතර නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ රැසක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයටද ගෙන තිබේ.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල්වල නීත්‍යානුකූලභාවය සහ සැපයුම් මූලාශ්‍ර හඳුනාගැනීම ඉතා වැදගත් වන බවය.


ඒ අනුව නිසි අවසරයකින් තොරව ආනයනය කරන හෝ නිෂ්පාදනය කරන ලිහිසි තෙල් වෙළෙඳපොළට පැමිණිම වැළැක්වීමත්, පාරිභෝගිකයින්ට විශ්වාසනීය සැපයුම් මාර්ග ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීමත් මෙම වැටලීම්වල අරමුණ වූ බවද එම අධිකාරිය සඳහන් කළේය.

 

More News..