මහනුවර නාථ දේවාලයට අයත් අක්කර 184 ක ඉඩමක් අනවසරයෙන් අල්ලා ගනියි
21 October 2026 | කමල් සුරවීර
මහනුවර නාථ දේවාලයට අයත් අක්කර 184 ක ඉඩමක් අනවසරයෙන් අල්ලා ගනියි
21 October 2026 | කමල් සුරවීර
මහනුවර ඓතිහාසික ශ්රී නාථ දේවාලයට අයත් පූජාපිටිය ප්රාදේශීය සභා බල සීමාවේ පිහිටි අංකුඹුර, ගල්හින්න ප්රදේශයේ ඇති අක්කර 184 කින් යුත් ඉඩමක් අනවසර පදිංචිකරුවන් විසින් අල්ලාගෙන භුක්ති විඳීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එම ඉඩම නාථ දේවාලයටම පැවරීමට කටයුතු කරනා ලෙස වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටින බව බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක සඳහන් කරයි.
මෙම ඉඩම අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු අංශ සියල්ලටම පැමිණිලි කොට තිබුනද මේ දක්වා සාධාරණයක් ඉටු නොවූ බවද හෙතෙම පැවසීය.
''මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ශ්රී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා මෙසේද කීය, මේ ඉඩම පෙර රජ දවසේ ශ්රී මහා නාථ දේවාලයට පැවරූ ඉඩමක්. පසුව ඉංග්රීසි පාලන සමයේ මේ ඉඩම මැනලා වෙන් කරලා අංක pp 60902 යන පිඹුරු පත යටතේ දේවාලයට පවරාදී තිබෙනවා. අපි දේවාලය මගින් කීප වතාවක්ම මෙම ඉඩමට අයත් ස්ථාන පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ වන විටත් ඉඩමේ බොහෝ කොටස් විවිධ පුද්ගලයන් අල්ලා ගෙන අනවසරයෙන් පදිංචි වෙලා සිටින ආකාරය දක්නට ලැබුණා. මේ ඉඩම නාථ දේවාලයට අයත් එකක් බව අදාල පුද්ගලයන්ට දැනුම් දීමෙන් අනතුරුව ඉන් කීප දෙනෙක් පමණක් නාථ දේවාලයට බදු ගෙවීමට කටයුතු කළත් බහුතරයක් අනවසරයෙන් බලහත්කාරයෙන් පදිංචිව සිටිනවා. මේ ඉඩම සම්බන්ධයෙන් නීත්යානුකූල තත්ත්වයක් ලබා ගැනීමේ අවශ්යතාවය අපිට තිබෙනවා. ඒ හේතුවෙන් අපි දිගින් දිගටම අදාළ ප්රදේශයේ පූජාපිටිය ප්රාදේශීය ලේකම්ට, ප්රාදේශීය සභාවට, පොලිසියට දැනුවත් කරලා පැමිණිලි කරලා තියෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාට පවා ලිඛිතව දැනුම් දීලා තිබෙනවා, මේ ගැටලු නිරාකරණය කරලා දෙන්න කියලා. නමුත් මේ දක්වාම අපිට කිසිදු හෝ සාධාරණයක් ඉටු වෙලා නෑ. මේ දේවාලවලට අයත් ඉඩකඩම් රැක ගැනීම අපේ පරම යුතුකමක්. නමුත් තියෙන තත්ත්වය මත ඒ ස්ථානවලට ගිහිල්ලා බලෙන් මේවා ගන්න බෑ. ගැටලුකාරී උණුසුම්
තත්ත්වයන් උද්ගත වෙනවා. ඒ වගේ තත්ත්වයන් විටින් විට මතුවුණා. විවිධ පුද්ගලයෝ මේ අක්කර 184 තුලම පදිංචි වෙලා ඉන්නවා. අපිට දැන් ඒ අය ඉවත් කිරීමේ අවශ්යතාවයක් නෑ. මේ අය බව භෝග වගා කරලා, ගෙවල් ,ගොඩනැගිලි හදාගෙන ඉන්නේ. නමුත් මේ අය නාථ දේවාලය සමග තියෙන සම්බන්ධතාවය ගොඩ නගාගෙන ඒ පරිපාලන කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්න ඕනේ. අදාල බදු මුදල් ගෙවන්න ඕනේ. පෙර සමයේ රජවරු මේ ඉඩම් දේවාලයට පවරලා තියෙන්නේ ඉර හඳ පවතින තුරු දේවාලයටම හිමිකාරත්වය ලබා දීලයි. මේ ඉඩම් වලින් ලැබෙන ආදායම් වලින් තමයි අපි දේවාල සතර මහා මංගල්යයන් වගේම අනෙක් විවිධ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ රජය මඟින් ක්රියාත්මක කරන බිම් සවිය වැඩසටහන මගින් හෝ වෙනත් වැඩසටහනක් මගින් ඉඩම මැනලා නාථ දේවාලයට හිමිකාරිත්වය පවරා දීලා සාධාරණයක් කරන්න කියලයි. රජයට අපි කියන්නේ මේ මැනුම් කටයුතු සඳහා දේවාලයට සහයෝගය දෙන්න කියලයි. අපි කීප වරක්ම අදාල වගකිවයුතු අංශ වලට දැනුම් දීලා තියෙනවා මේ ඉඩම් මැනලා නාථ දේවාලයට අයිති කොටස් නිරවුල් කරලා දෙන්න කියලා. දැන් මෑත කාලයේ ඉඳලා නාථ දේවාලයට අයිති ඉතිරි ඉඩම් ටිකත් අල්ලගෙන වැටවල්ගහගෙන නීති විරෝධී ආකාරයෙන් කටයුතු කිරීම වැඩි වෙලා තිබෙනවා. මේ අක්කර 184 ආශ්රිතව කට්ටප්පුව, හුළංගල කියන ප්රදේශය දිගු කාලයක සිටම දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයක් දිනාගත් නැරඹුම් මධ්යස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. අක්කර ගණනාවකින් යුත් මේ ගල උඩට නැග්ගම අවට සම්පූර්ණ ප්රදේශයම දැකගන්න පුළුවන්. ඒ නිසා මේ ඉඩමේ මේ කොටස ඉතාමත් ඉහළ ආර්ථික වටිනාකමින් යුක්ත ස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. බොහෝ පුද්ගලයෝ මේ ඉඩම අල්ලගන්න තමයි වෑයම් කරන්නේ. පසුගියදා ඒ ඉඩමට පිවිසෙන මාර්ගය මුළුමනින්ම අවහිර කරලා අනවසරයෙන් යකඩ වැටක් පවා ගහලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත පැමිණිලි කරා.''

