brand logo
logo
ආණ්ඩුවට උත්තර දෙන්න ජවිපෙයක් ඕනෑ කර තිබේ

ආණ්ඩුවට උත්තර දෙන්න ජවිපෙයක් ඕනෑ කර තිබේ

26 October 2026


ඊයේ පෙරේදා දවසක ජනාධිපති අනුර කුමාර දිසානායක රජයේ මිනුම්දෝරු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා හැටියට සහභාගි විය. (මේ තරම් ප්‍රශ්න තිබෙන රටක ප්‍රධානියාට වෘත්තීය සමිති රැස්වීමකට ගොස් දේශනයක් පැවැත්වීමට තරම් විවේකයක් තිබීමද වැදගත් කාරණාවකි) එහෙත් අප මේ ලියන්නට තනන්නේ ඒ ගැන නොව ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළ වැදගත් කරුණක් ගැනය.


ඒ රාජ්‍ය ආයතන 34 ක් ළඟදීම වසා දමන බවට කළ හෙළිදරව්වය. වසාදමන්නේ යැයි


ස්ථිරසාරව කියා සිටියද ඒ කුමන ආයතනදැයි කියා නම් ජනාධිපතිවරයාගේ කතාවෙන් කියවුණේ නැත. එහෙත් වැඩේ ඇත්ත නිසා තවදුරටත් ඒ ලැයිස්තුව රහසක් හැටියට තබා⁣ නොගෙන ප්‍රසිද්ධ කිරීම ආණ්ඩුවේ වගකීමකි.


ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුවේ ප්‍රමුඛ කණ්ඩායම වන, ජවිපෙ නායකයා රටේ ජනාධිපති වන, ආණ්ඩුවකින් රාජ්‍ය ආයතන දුසිම් තුනකට කිට්ටු ගණනක් වසා දමන්නට යෑම දේශපාලන වශයෙන් බරපතළ ප්‍රවෘත්තියකි. රාජ්‍ය භාණ්ඩාගාරය පිරී ඉතිරී දොරේ ගලන්නේ යැයි නිතර දෙවේලේ අසන්නට ලැබුණද රටේ ආර්ථිකයේ දිග පළල ගැන හැඟීමක් එයින් ඇති කරගන්නට පුළුවන. ආර්ථිකයේ අවුලක් නැත්නම් ජවිපෙ සිංහාසනයේ සිටින ආණ්ඩුවක් මෙතරම් රාජ්‍ය ආයතන තොගයක් වසා දමන්නට හිතන්නේවත් නැති බැවිනි.


හැත්තෑහය අවුරුදු සාපය යැයි කියනු ලබන අතීතයේ, ආණ්ඩුවක් රාජ්‍ය ආයතන 34 ක් වසා දමන්නට අර ඇන්දේ නම් ජවිපෙ නායකයන් මේ වන විටත් වීදි බැස හමාරය. එ⁣ය ලෝක ධනේශ්වර කඳවුර අපේ රට ඉලක්ක කරගෙන කරන කුමන්ත්‍රණයක් බවද ඔවුන් එහිදී කියා සිටිනු ඇත. තවද රටේ ආණ්ඩුව ලෝක බැංකුවේත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේත් අල්ලේ නැටවෙන රූකඩයක් බවද ජවිපෙන් අසන්නට ලැබෙන බව සහතිකය.


එහෙත් එදා මිනුම්දෝරු රැස්වීමේදී ජවිපෙ නායකයා (ජනාධිපතිවරයා) කියා සිටියේ වෙනස් කතාවකි. මේ රාජ්‍ය ආයතන ආරම්භ කෙරුණු කාලයට වඩා අද රට, ලෝකය වෙනස් වී ඇති නිසා මෙතෙක් කෙරුණු කාර්ය භාරය ඒ අන්දමින්ම කරගෙන යායුතුද, නැත්නම් ඒ සඳහා පෞද්ගලික අංශය සහාය කරගත යුතුදැයි සලකා බැලිය යුතු බවය. මේ ඇසූ අපට එය කලින් අසා පුරුදු දෙයක් නොවේදැයි සිතුණේය.


ඇත්ත, අප එය කලින් අසා තිබේ. ඒ මීට පෙර රටේ තිබූ "ධනවාදී" ආණ්ඩු රාජ්‍ය ආයතන වසා දමන්නට තනන වේලාවලදීය. දැන් මාක්ස්වාදී යැයි කියන ආණ්ඩුවද රාජ්‍ය ආයතන වසා දමන්නට යන විට ගහන්නේ ඒ පදයමය.


එහෙත් එකී ධනවාදී ආණ්ඩු ප්‍රතිව්‍යුහකරණය ආදී නම් යොදාගෙන රාජ්‍ය ආයතන වළපල්ලට ගෙන යන්නට හදන විට ජවිපෙ ඊට එරෙහිව පාවිච්චි කළ හැකි හැම තුරුම්පුවක්ම ගැහුවේය. දැන් ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවද ඒ දෙයම කරන්නට යයි. අඩුපාඩුව ඊට විරුද්ධවීමට "ජවිපෙ"යක් නැතිවීමය.


කෙසේවුවත් ඔවුන් ⁣වර්තමානයේ ජීවත්වීම නැත්නම් යථාර්ථය පිළිගැනීම අගය කළ යුතුය. එහෙත් ආණ්ඩුව හැම තැනකදීම එසේ යථාර්ථයේ පිහිටා කටයුතු නොකරන බවද නොකියා බැරිය. එක අතකින් ආණ්ඩුව රාජ්‍ය ආයතන පාඩු දරාගෙන නඩත්තු නොකළ යුතු යැයි යන යථාර්ථයේ පිහිටා ඒ වසා දමන අතරේ, තවත් අතකින් ආණ්ඩුවෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන අලුතින් විවෘත කරන දෙබිඩි ප්‍රතිපත්තියක සිටී.


ආණ්ඩුවේ "දුඹුරු සීනි කඩය" මීට හොඳම උදාහරණයයි. ආරම්භ කෙරුණු අවස්ථාවේදී මුළු රට පුරා දුඹුරු සීනි කඩ විවෘත කරන බවට පුරසාරම් කී ආණ්ඩුව දැන් ඒ ගැන කිසිවක් කියන්නේ නැති බව නම් ඇත්තය. එහෙත් මෙය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ අපැහැදිලි බව ආණ්ඩුවේ නායකයන් විසින් ක්‍රියාවෙන්ම ප්‍රදර්ශනය කළ අවස්ථාවකි.


ජවිපෙ නායකත්වය දරන ආණ්ඩුවක් රාජ්‍ය ආයතන වසා දමන තැනට යෑමම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රශ්න කෙරෙන්නකි. එහෙත් මාක්ස්වාදීන් හැටියට හඳුන්වනු ලබන තමන් දැන් සිය ගමන්මග වෙනස් කර ඇතැයි කියාද ඔවුන් කිසිවි⁣ටෙකත් කියන්නේවත්, පිළිගන්නේවත් නැත. එහෙත් තවදුරටත් ජවිපෙ, ජවිපෙ නොවන බව නම් ඔවුහු රටට පෙන්වා දෙමින් සිටිති.

 

More News..