ඊශ්‍රායෙල් යන්න තවත් මුදල් ගෙවන්න එපා
28 October 2024 | ශිවන්ති ප්‍රනාන්දු
ඊශ්‍රායෙල් යන්න තවත් මුදල් ගෙවන්න එපා
28 October 2024 | ශිවන්ති ප්‍රනාන්දු
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු ශ්‍රී ලංකාවේ සිට විදේශ රැකියා බලා යන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ එම රැකියාවල වගකීම දරන ප්‍රමුඛතම සහ එකම නියෝජිතයා වන්නේය. කිසියම් ආයතනයක් විදේශ රැකියා සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරයි නම් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය නිසැකවම තිබිය යුතුය. ඊශ්‍රායලයට ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා යොමු කිරීමේ බලයලත් එකම ආයතනය ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයයි. මේ වන විට ඊශ්‍රායෙල් රැකියා සඳහා යැවීමට ඇති ප්‍රමාදය පිළිබඳව මුදල් ලබා දුන් පාර්ශ්ව කිහිපයක් විසින් කරනු ලැබ ඇති චෝදනා කීපයකට අද පිළිතුරු ලබා දෙමු.
ඊශ්‍රායලයේ රැකියා පිළිබඳ චෝදනා
මීට සති කිහිපයකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට චෝදනා මුඛයෙන් ඊශ්‍රායලය බලා රැකියා සඳහා පිටත් කරවීම ප්‍රමාද බවට රැස් වූ පිරිසක් විසින් විරෝධතාවක් පැවැත්විය. ඊශ්‍රායල් රැකියා අපේක්ෂිත පාර්ශ්ව වෙත එන දුරකථන ඇමතුම් ගැන පුවත් වාර්තා කෙරිණි. ඒ සඳහා තවත් කිසියම් මුදලක් බැර කරන ලෙස යොමු කළ ගිණුම් අංක පිළිබඳව ප්‍රචාරය කෙරිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්ද ඉහත මුදල් බැර කිරීමේ ප්‍රචාරය පිළිබඳව කරුණු සඳහන් කරමින් පහත නිවේදනය පළ කරනු ලැබ තිබිණි.
"විශේෂ නිවේදනය
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී මේ වන විට මුදල් ගෙවා නිම කර ඇති ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට නැවත තවත් රුපියල් 14,700ක මුදලක් ගෙවන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් යැයි කියමින් ලබා දෙන ඇමතුම්වලට කාර්යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැත.
එම ජාවාරම්කරුවන් පවසන බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීමෙන් වළකින ලෙසට කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වැඩි විස්තර සඳහා 1989 අමතන්න.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය"
යනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිවේදනය පළ කෙරිණි. මේ තත්ත්වය උඩ ඊශ්‍රායෙල් රැකියා යනු මේ වන විට වැඩි ඉල්ලුමක් ඇති රැකියා වර්ගයක් බව පැහැදිලිය. ඉහත නිවේදනය හා සමව "ඊශ්‍රායෙල් යෑමට කිසිවකුට මුදල් දෙන්න එපා!" යන කෙටි නිවේදන ද කාර්යාංශය විසින් බෙහෙවින් ප්‍රචාරය කෙරෙනු ජනතාවට දක්නට ලැබිණි.
මෙසේ සිදුවූයේ ඉහත රැකියා සඳහා ඇති ඉල්ලුම යන ප්‍රධාන හේතුව උඩය. ඒ හේතුවෙන් සිදු වන අක්‍රමිකතා, ජාවාරම්, රැවටීම් සහ මූල්‍ය වංචාද ඉහළ යෑමේ සිද්ධි වාර්තා වීමද සිදු විය.
ඊශ්‍රායෙල් රැකියා
ඊශ්‍රායෙල් රැකියා ගිවිසුම් 2020දී ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල රාජ්‍ය දෙක අතර ඇති කරගත් ඒවා වුවත් කාර්යාංශය ඊශ්‍රායල් රැකියා සඳහා ඇති ප්‍රමුඛතාව මෙන්ම එම රැකියාවල ඇති මූල්‍යමය වාසිය පිළිබඳව ජනතාව අතර ප්‍රචාරණයට පෙලඹුණේ කොවිඩ් වසංගත තත්ත්වය අවසන් වීමෙන් අනතුරුවය. එසේම, 2022 වසරේදී උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ රටින් පිටව රැකියා කිරීමට කැමැත්ත දක්වන පිරිසේ සංඛ්‍යාව විශාල වූ අතර එහිදී ඊශ්‍රායෙල් රැකියා අතර පැවැති සාත්තු සේවා, ඉදිකිරීම්, කෘෂි අංශයේ රැකියා සඳහා උනන්දුව සහ හැකියාව සැපිරූ පිරිස ද ඉහළ විය. ඊශ්‍රායෙල් රැකියා සඳහා ඇති එම ප්‍රමුඛතාව ඉහළ යාමට හේතු වූ අනෙක් කාරණය වූයේ එම රැකියා සඳහා හිමි වන වැටුපත් රජයේ මැදිහත් වීමෙන් එරට බලා යැවීමට දක්වන වගකීම් සහගත තත්ත්වයත්ය.
2024 මුල් මාස 9 තුළ විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයන් සංඛ්‍යාව 240,109කි. කාන්තා ශ්‍රමිකයන් 99,939 කුත් පිරිමි ශ්‍රමිකයන් 142,170කුත් ඇතුළත් වෙති. පුහුණු ශ්‍රමිකයන් 70,396 දෙනෙක් ඒ අතරට අයත් වෙති. 2024 මුල් මාස 9 තුළ වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයන් 17,649 දෙනකු විදේශගත වී ඇත. අර්ධ පුහුණු රැකියා සඳහා යොමුවූ ලාංකිකයන් ප්‍රමාණය 3,704කි. ඒ අතරට මේ වන විට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා පන්දහසක් පමණ හිමි වී තිබේ. ඊශ්‍රායලයේ සාත්තු සේවය, ඉදිකිරීම්, කෘෂිකර්මය යනාදී ක්ෂේත්‍ර කෙරෙන් ශ්‍රී ලාංකිකයන් යනු ගෘහ සේවයට උපන් ශ්‍රමික රටක් නොවන බව තහවුරු වී තිබෙන අතර ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල රජය විදේශ රැකියා වෙනුවෙන් ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා රාජ තාන්ත්‍රික ගිවිසුම් අනුව මෙම රැකියා අවස්ථා රටට හිමි වේ.
ඊශ්‍රායලයේ ලොතරැයි ක්‍රමය යටතේ ඉදිකිරීම් වෘත්තීය අවස්ථා සඳහා යෑමට බොහෝ දෙනකු පසුගිය කාලයේ සුදුසුකම් ලබා තිබිණි. ගොඩනැගිලි කපරාරු කිරීම, ටයිල් ඇතිරීම, ශට්ල් වඩු වෘත්තීය, යකඩ කම්බි බැඳීම හා නැවීම යනාදී රැකියා සඳහා ඉහත පිරිස පසුගිය කාලයේ ඊශ්‍රායෙල් නියෝජිතයන් විසින්ම තෝරා ගැනිණි. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව තෝරා ගත් පිරිසට කෘෂිකාර්මික ගොවිපල සහ 'උමන්දාව' බෞද්ධ විශ්ව ගම්මානයේදී මෙම පුහුණුව ලබා දීම සිදුකෙරිණි. ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍රය, එහි සංස්කෘතිය, නීතිරීති පිළිබඳව විශේෂ දැනුමක් සහ අවබෝධයක් ලබා දීම වෘත්තීය දැනුම හා සමව ලබා දීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්ව සිදු විය. සේවක - සේව්‍ය සම්බන්ධතාවය, සෞඛ්‍ය, වෘත්තීය සුරක්ෂිතභාවය පිළිබඳව විශේෂ මැදිහත්වීමක් ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කරනු ලබයි. සාත්තු සේවය සඳහා යන අය සඳහා ජාතික වෘත්තීය නිපුණතා 3 තත්ත්වයේ පුහුණු පාඨමාලා සැපිරීම අනිවාර්ය සුදුසුකමක් වන අතර ඒ සඳහා ද පාඨමාලා පවත්වා සුදුසුකම් ලැබූ අය පමණක් රැකියා සඳහා ඉදිරිපත් වීම සිදු කෙරේ.
මුදල් දිය යුත්තේ කාර්යාංශයට පමණයි
ඉහත රැකියා සඳහා කාර්යාංශයේ www.slbf.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙන අතර කාර්යාංශයේ පැය 24 ක්‍රියාත්මක දුරකථන අංකය ඔස්සේ ද විමසීම් කළ හැකිය. ඒ අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමි වන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට අවසර ලබා දී නැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා වෙනත් බාහිර පාර්ශ්වයකට මුදල් ලබා දීමෙන් වළකින මෙන්ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් විශේෂයෙන් කරන ඉල්ලීමක් වේ.
සභාපතිට කියන්න
ඊශ්‍රායලය මෙන්ම සියලු විදේශ රැකියා පිළිබඳ ගැටලු විමසීම සඳහා කාර්යාංශය විසින් අලුත් වැඩසටහනක් මෑතකදී ආරම්භ කෙරිණි. ඒ නම් 'සභාපතිට කියන්න - Talk to Chairman වැඩසටහනයි. විදේශ රැකියා සඳහා උනන්දුව ඇතිව ඒ සඳහා යොමු වීමේදී පැන නගින ඕනෑම ගැටලුවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ වෙත සෘජුවම දැනුම් දීමට මෙමගින් අවස්ථාව ලැබී ඇත. විදේශ රැකියා ක්ෂේත්‍රයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය සම්බන්ධයෙන් බොහෝ දෙනකුට තිබිය හැකි නොවිසඳුණු ගැටලු කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීමට කාර්යාංශය විසින් මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලැබ තිබෙන අතර එම ගැටලු සඳහා සිය පෞද්ගලික අවධානය යොමු කරමින් හැකි වහා සභාපතිවරයා විසින් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරනු ලැබීමට එමගින් සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ආරම්භ කර පළමු දිනයේදීම සැලකිය යුතු සිද්ධි ගණනාවක් පිළිබඳව පැමිණිලි බොහෝ සංඛ්‍යාවක් ලද බව කාර්යාංශයේ ප්‍රචාරක අංශයේ වාර්තාවල සඳහන්ව ඇත. මෙම ක්‍රියාවලිය වෙනුවෙන් විශේෂ ඒකකයක් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ මේ වන විට ස්ථාපනය කර තිබේ.
පැමිණිලි පෙට්ටියක්
මීට අමතරව, කාර්යාංශය වෙත දිනපතා පැමිණෙන අයගේ පැමිණිලි විමසීම් කරනු ලබන පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇත. එම පැමිණිලි පෙට්ටිය වෙත යොමු කරන පැමිණිලි සඳහා ද නිලධාරීන්ගේ මැදිහත් වීම ලබාගෙන, විසඳුම් ලබාදීමට කාර්යාංශය කටයුතු කරයි. තවද, 0112 864188 දුරකථන අංකය ඔස්සේ ද පැමිණිලි භාර ගැනීමටත් 0717 593 593 යන WhatsApp අංකය ඔස්සේ හා talkchairman@slbfe.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ද පැමිණිලි යොමු කිරීමට පැමිණිලිකරුවන්ට අවස්ථාව සලසා දී තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදහස වන්නේ විගමනික ප්‍රජාවගේ ගැටලු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබා දීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවය. සම්ප්‍රදාය අභිබවා නව වෙනසක් ලෙසින් ආයතනය ජනතාවට සමීප කිරීම කාර්යාංශයේ බලාපොරොත්තුව වන අතරම ඊශ්‍රායෙල් රැකියා පිළිබඳව සිදු වන රැවටීම් සහ වංචා පිළිබඳව විශේෂයෙන් විමර්ශන සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.