පිහියේ ස්ටිකරයෙන් ඝාතකයා දින හතරෙන් අල්ලයි
14 November 2026 | කීර්ති මෙන්ඩිස්
පිහියේ ස්ටිකරයෙන් ඝාතකයා දින හතරෙන් අල්ලයි
14 November 2026 | කීර්ති මෙන්ඩිස්
තිරිකුණාමලයේ වෙඩි පිට වෙඩි පත්තු වූයේ යුද්ධය පැවැති කාලයේය. එදවස වෙඩි තැබීමක් බෝම්බ පිපිරුණු දවසක් නගරයේ නැති තරම්ය. 2009 මැයි මාසයේ යුද්ධය නිමාවීමෙන් පසු තිරිකුණාමලයේ තිබූණේ සාමකාමී පරිසරයකි. එත් නිසංසලේ තිබූ තිරිකුණාමලය පොලිස් වසම දෙතුන් සතියකට ඉහතදී බයෙන් ඇලළී ගියේය. ඒ එම වසමේ වූ මිනිස් ඝාතනයක් නිසාය. තිරිකුණාමල සිංහපුර ‘මවුන්ට් විව්’ නමින් නිවාඩු නිකේතනයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු මෙසේ ඝාතනය කර තිබුණේය. ඔහු මරා දමා තිබුණේ ගෙල කපාය. මෙම ඝාතනය සැලවීමත් සමග මුළු සිංහපුරයම බියෙන් ඇලළිණි.
මෙලෙස මරණයට පත්ව තිබුණේ ‘මවුන්ට් විව්’ නිවාඩු නිකේතනයේ අධිපති නිමල් කොස්ගොල්ල නමැත්තාය. සිද්ධිය වූ ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමට ඔහු ගැන වැඩි යමක් දැනගැනීමට හැකියාවක් නොවීය. ඒ ඔහු ගැන හොඳින් දන්නා කියන කිසිවකු එම ප්‍රදේශයේ නොවීම නිසාය.
නිමල් මැරී වැටී සිටි කබානාව ඉදිරිපිට ඇඳ ඇතිරිල්ලක්, තුවායක්, අත් පිසිනයක්, සබන් කැටයක් සහ සුදුපැහැති තොප්පියක්ද විය. ඒ අනුව නිලධාරීන්ට පෙනී ගියේ කබානාවට පැමිණි අයකුට දීමට නිමල් එම බඩු බාහිරාදිය, කබානාව වෙත රැගෙන එන්නට ඇති බවය. නිමල් ඝාතනය වන්නේ ඒ මොහොතේදී බව නිලධාරීහු සැක පළ කළහ. කෙසේ වෙතත් එතැන වැටී තිබූ සුදු පැහැති තොප්පිය නිමල්ගේ නොවන බව නිලධාරීන්ට ඒත්තු ගියේය. එසේ නම් එය ඝාතකයාගේ වන්නට ඇතැයි නිලධාරීන්ගේ සැකය වූයේය.
පසුව නිලධාරීන් නිමල්ගේ නිවෙසද පරික්ෂා කළේය. එහි නාන කාමරයේ රුධිරය ගලා ගොස් තිබිණ. ඝාතකයා කාමරයෙන් අත්පා සෝදා ඇති බවක් ඉන් හැඟින. තවදුරටත් පරීක්ෂා කරද්දී ඒ අසල ඇඳක් යට තිබී සුදු පැහැති සපත්තු ජෝඩුවක් හමුවිය. එහි ද ලේ පැල්ලම් තිබිණි. එය ඝාතකයාගේ වන්නට ඇතැයිද නිලධාරීහු සැකපළ කළහ. රුධිරය ගෑවී තිබූ නිසා එය ඇඳ යටට විසිකර දමන්නට ඇති බව නිලධාරීන්ගේ විශ්වාසය විය.
කෙසේ වෙතත් විමර්ශනයේදී තවත් එක් සැකයක් මතුවිය. ඒ නිමල් පැලඳ සිටි පවුම් 10ක් පමණ වටිනා රන්මාලයද ඒ වනවිට අතුරුදන්ව තිබූ නිසාය. ඒ අනුව පොලිසියේ සැකය වූයේ නිමල් මරා දමා ඇත්තේ එම මාලය ගැනීමට බවය.
පසුව කිසියම් හෝ හෝඩුවාවක් සොයාගැනීමේ අරමුණෙන් නිමල්ගේ ඉඩම සහ ඊට යාබද ඉඩමද නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්විය. එම පරීක්ෂාවේදී නිවෙස ඉදිරිපිට පොල් ගසක් යට තිබී ජංගම දුරකථනයක් හමුවිය. එය නිමල්ගේ බව ඔහුගේ මිතුරකු හඳුනා ගත්තේය. යාබද ඉඩම පරීක්ෂාවේදී අත්ඔරෝලෝසුවක් සහ උල් පිහියක් සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ. අත් ඔරලෝසුව දෙකට කැඩී තිබිණි. පිහිය මැදින් නැමී තිබිණ. ඒ අනුව නිලධාරීන් සැක කළේ කැඩුණු අත් ඔරලෝසුව ඝාතකයාගේ වන්නට ඇති බවත් උල් පිහිය නිමල්ගේ ගෙල කපා දමන්නට උපයෝගී කරගත් පිහිය බවත්ය.
නිලධාරීහු උල්පිහිය පරීක්ෂාවට ලක් කළහ. එහි මිටේ ස්ටිකරයක් අලවා තිබිණි. එහි සඳහන් වූයේ එම පිහිය අලෙවි කළ වෙළෙඳසලය. ඒවා නඩු භාණ්ඩ ලෙස සිය බාරයට ගැණිනි.
විමර්ශන පැතිකිහිපයක් ඔස්සේ සිදුවිය. කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වී.සී.ජේ. නියෝජ්‍ය පොලිස්පති මගින්ද දිසානායකගේ අධීක්ෂණය මත ත්‍රිකුණාමල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චායා කුමාරසිංහ ඇතුළු අපරාධ විමර්ශන කණ්ඩායම සමග තවත් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන සඳහා එක්ව සිටියහ.
‘‘ඔන්න ඔහෝම විමර්ශන කරද්දී අපිට තොරතුරක් ආවා සිද්ධිය වුණදා රාත්‍රියේ පුද්ගලයෙක් ත්‍රීවීලර් එකකින් ගිහින් අනුරාධපුර නන්දියෙන් බැස්සා කියලා. අපි ඒ තොරතුර ඔස්සේ ගිහින් අනුරාධපුරය හන්දියේ සීසීටීවී බැලුවා. ඒ දර්ශනවල තිබුණා. ත්රීවීලරයකින් එන පුද්ගලයෙක් එයාගේ වම් අත ටීෂර්ට් එකකින් වගේ ඔතාගෙන හන්දියේ රැඳිලා ඉන්න ආකාරය. හොඳින් බලද්දී ඒ ඔතාගෙන හිටිය රෙද්ද උඩින් රුධිරය ගෑවිලා තිබෙන අයුරු දුටුවා. ඒ නිසා අපිට මිනිහා ගැන සැක හිතුණා. ඒත් එතින්න එහාට සීසීටීවී තිබුණේ නැහැ.’’
විමර්ශන නිලධාරියකු සඳහන් කළේය. එම රූපරාමුත් සමග මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කිසියම් අදහසක් පහළ විය. ඒ මෙම පුද්ගලයා බසයකින් පලා ගියේද යන්නය. ඒ සැකය මත ප්‍රධාන පොලිස් පරීක්ෂක චායා කුමාරසිංහ තිරිකුණාමලය බස් නැවතුමට ගොස් රාත්‍රියේ එම නැවතුමෙන් කොළඹ බලා ගිය බස් කවරේදැයි සොයා බලන්නට පටන් ගත්තේය.
දැඩි වෙහෙසකට පසු රාත්‍රි 10ට කොළඹ බලා ධාවනය වූ බස් රියේ කොන්දොස්තරවරයා සොයාගැනීමට මූල්සථාන පොලිස් පරීක්ෂකවරයාට හැකි විය.
‘‘ඔව් සර්. අපේ බස් එකේ තමයි මිනිහා ගියේ. අතේ තුවාලයකුත් තිබුණා. අතට බැන්ඩේජ් එකකුත් බැඳගෙනයි හිටියේ. අන්තිම සීට් එකේ තමයි වාඩිවෙලා ගියේ. වේලාසනින් සීටි එකක් බුක්කරලයි තිබුණේ.’’
කොන්දොස්තරවරයා කියන්නට විය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහුගෙන් තවදුරටත් කරුණු විමසුවේය.
‘‘ත්‍රීවීලර් එකකින් ඇවිත් තමයි බස් එක ළඟින් බැස්සේ. කොළඹ, පිටකොටුවේ පාවෙන හෝටලය ළඟින් තමයි බැස්සේ.’’
මේ බව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් කොළඹ බලා පිටත් කර යැවිණි. ඒ සැකකරු බැස ගිය ස්ථානය අවට සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කොට සැකකරු හඳුනාගැනීම සඳහාය.
‘‘ඒ අතර අපි තිරිකුණාමලය බස් ස්ටෑන්ඩ් එකට ගිහින් ඒකේ තිබුණු සීසීටීවී කැමරා පරීක්ෂා කළා. ඒ බලද්දි අපිට පෙනුණා රතුපාට තොප්පියක් දාගෙන ත්‍රීවීලර් එකකින් මේ පුද්ගලයා බස් ස්ටෑන්ඩ් එකට එන දර්ශන. ඉන්පස්සේ අපි ඒ ත්‍රීවීලර් එක හඳුනාගෙන ඒකේ රියැදුරා සොයාගෙන මිනිහගෙන් ප්‍රශ්න කළා.’’
‘‘මිනිහා කිව්වා ඒ පුද්ගලයා තිරිකුණාමලේ අතත් බැඳගෙන ප්‍රයිවට් ඩිස්පැන්සරියක් ළඟින් එයාගේ ත්‍රීවීලර් එකට නැග්ගා කියලා.’’
‘‘පස්සේ අපි ඩ්‍රයිවරුත් එක්ක ප්‍රයිවට් ඩිස්පැන්සරියට ගිහින් ඒකේ ඩොක්ටර් හමුවෙලා ප්‍රශ්න කරද්දී එයා කිව්වා ඔව් අතක් කපාගත්ත පුද්ගලයෙක් ආවා. එයා කිව්වා එයා මාළු බෝට්ටුවක වැඩකරන්නේ. වැඩ කරද්දී එයාගේ අත කැපුණා කියලා.’’
‘‘මම අතට මැහුම් 12ක් දැම්මා. පස්සේ එයා නැගිටලා යන්න හැදුවා. එතකොට එයා වැටෙන්න ගියා. ක්ලාන්ත වෙලා. මම කිව්වා දැන්ම යන්න එපා කියලා. ඒත් එයා කිව්වා කොළඹ යන්න බස් එකේ සීට් එකකුත් බුක්කරලා තියෙන්නේ ඒ නිසා යන්නම ඕන කියලා.’’
‘‘එයා මාත් එක්ක කැඩිච්ච ඉංග්‍රීසියෙන් තමයි කතා කළේ. රුපියල් 10,760ක් බෙහෙත්වලට ගත්තා. මිනිහා අතේ තිබුණු බෑග් එක ඇරලා මට සල්ලි දුන්නා. මම දැක්කා ඒකේ රුපියල් පන්දාහේ කොළ ගොඩාක් තියෙනවා. මගේ ගාන ගෙවලා මිනිහා යන්න ගියා.’’
දොස්තරවරයාගේ ප්‍රකාශය අනුව එලෙස ඔහුගෙන් ප්‍රතිකාර ගෙන ඇත්තේ සැකකරු බව නිලධාරීන්ගේ නිගමනය විය. එහෙත් සැකකරු කවුදැයි හඳුනාගැනීමට නිලධාරීන්ට හැකිවූයේ නැත. කෙසේ වෙතත් ව්‍යාපාරික නිමල් ඝාතනය කරද්දී සැකකරුගේ වම් අත පිහියට කැපී ඇති බව නිලධාරීන්ට වැටහුණේය. සැකකරු නාන කාමරයට ගොස් කැපුණු අතේ තිබූ ලේ සෝදා තිබීම ඊට එක හේතුවක් විය.
කෙසේ වෙතත් කොළඹ බලා ගිය කණ්ඩායම හිස් අතින්ම යළි තිරිකුණාමලයට පැමිණියේය. ඒ සැකකරු බසයෙන් බැස ගිය ස්ථානයේ සී සීටීවී කැමරා නොතිබූ නිසාය. ඉන් අනතුරුව නිලධාරීන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු විය.
‘‘ඉන් පස්සේ අපි බැලුවා නිමල්ගේ ඉඩමට යාබද ඉඩමේ තිබිලා හොයාගත්ත උල්පිහියේ තිබුණු ස්ටිකරය ගැන. ඒ පිහිය අරන් තියෙන වෙළෙඳසල මොකක්ද කියලා හොයාගන්න.’’
නිලධාරීන් ‘ගූගල්’ පරීක්ෂා කරන්නට විය. ඒ ඔස්සේ ඔවුනට එම පිහිය මොරටුව කටුබැද්දේ වෙළෙඳසලකින් මිලදී ගෙන ඇති බව තහවුරු කරගත හැකි විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සාම්පූර් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ඇතුළු කණ්ඩායමක් මොරටුව බලා පිටත්ව යන්නේ ඉන්පසුවය. පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි කලක් මොරටුමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර තිබිණ. ඒ නිසා ප්‍රදේශය සම්බන්ධයෙන් අවබෝධයක් ඔහුට ඇති බව දත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම රාජකාරිය ඔහුට පවරා තිබිණ.
‘‘අපි ඒ වෙළෙඳසල හොයාගෙන සිද්ධිය වුණ දවසට දිනකට දෙකකට කලින් ඒ වගේ පිහියක් මිලදී ගත්ත පුද්ගලයන් ගැන සොයාබැලීමක් කළා. එහෙම පිහි අරගෙන ගිය දෙතුන් දෙනකුගේම ගෙවල්වලට ගිහින් විමසද්දී ඒ පිහි ඒ ගෙවල්වල තිබුණා. ඒ නිසා අපි ඒ සැක බැහැර කළා.’’
එහෙම පරීක්ෂා කරද්දී 20 වනදා ඒ කියන්නේ නිමල් මරා දාපු උදේ එක් පුද්ගලයෙක් මේ වෙළෙඳසලට එන සීසීටීවී දර්ශන අපිට හොයා ගන්න පුළුවන් වුණා. මිනිහා සුදුපාට සපත්තු දෙකක් දාගෙන සුදු තොප්පියකුත් පැලඳගෙනයි එන්නේ.
මිනිහා මේ කඩේට ඇවිත් රුපියල් 960ක් දීලා පිහියක් අරගෙන ඒක සාක්කුවේ දාගෙන පිටවෙලා යන දර්ශනත් එතැන තිබුණා.
‘‘ඒ වෙලාවේ අපිට මතක් වුණා මරා දාපු නිමල්ගේ කාමරයක ඇඳක් යටින් සොයාගත්ත ඒ සුදුපාට සපත්තු දෙක නේද කියලා. ඒ වගේම නිමල් මරා දාපු තැන තිබිලා හමුවුණ සුදුපාට තොප්පිය මේ පුද්ගලයා දාගෙන එන කැප් එක නේද කියලා. ඒ වගේම අතේ බැඳගෙන හිටිය ඔරලෝසුව අල්ලපු ඉඩමෙන් හොයාගත්ත ඔරලෝසුව නේද කියලා. අපි තහවුරු කරගත්තා මිනිහා තමයි නිමල් ඝාතනය කළ සැකකරු කියලා.’’
විමර්ශන නිලධාරියා අවධාරණය කළේය. ඒ අනුව නිලධාරීන්ගේ සැකය වූයේ සැකකරුද ඒ අවට පදිංචිකරුවකු වන්නට ඇති බවය. එතැන් පටන් පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ඇතුළු කණ්ඩායම එම සැකකරු සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළහ. ඒ සඳහා මොරටුව පොලිසියේ නිලධාරීහු කිහිපදෙනකුම එක් වූහ.
‘‘ඔහෝම හොයද්දී අපිට තොරතුරක් ලැබුණා. මිනිහා ඔය පැත්තේ කඩවලට කරවල දාන බවක්. ඒ වගේ මිනිහා ගල්කිස්සේ කඩයකට ගෑස් ටැංකියක් ගන්න ආව බවක්. අපි ගිහින් ඒ කඩවල මුදලාලිලා දැනුවත් කළා. මේ පුද්ගලයා ආවොත් කියන්න කියලා. පස්සේ ග්‍රාමසේවක හම්බවෙලා තොරතුරු ගත්තා. මිනිහා පදිංචිය වෙනස් කරන්න ඇප්ලිකේෂන් එකකුත් ග්‍රාමසේවකට දීලා තිබුණා. ඒකෙන් දැනගත්තා මිනිහා ගල්කිස්ස තෙලවල පදිංචිකාරයෙක් කියලා. ඔහෝම හොයද්දී තමයි මිනිහා මෝටර් සයිකලයක නැගලා තව ගෑනු කෙනෙක් එක්ක යනවා දැක්කේ. මිනිහගේ අත බැන්ඩේජ් කරලා තිබුණා. අපි දැනගත්තා මෙයා තමයි මෑන් කියලා. කොහොම හරි මිනිහා පැනලා යන්න හැදුවා. අපිත් අතහැරියේ නැහැ. මිනිහා ගිය බයික් එක හප්පලා මිනිහ වැටුණට පස්සේ පොරබදලා තමයි මිනිහා අල්ලගත්තේ.’’
විමර්ශන නිලධාරියා කීවේය. ඒ මොහොතේ සැකකරු සමග ගමන් කරමින් සිට ඇත්තේ ඔහුගේ බිරිය බවටද අනාවරණය විය. බිරිය මුදාහල නිලධාරීන් සැකකරු සිය භාරයට ගෙන නිමල් ඝාතනය සම්බන්ධයෙන් සැකකරු ජීප්රියේ තබාගෙනම ප්‍රශ්න කරන්නට විය.
‘‘මම හුඟක් ණය වෙලයි හිටියේ සර්. මම ඔය ගෙස්ට් එකට නිතරම යනවා එනවා. බෝට්ටුවෙන් තිරිකුණාමලයට ගියාට පස්සේ එහෙ තියෙන කබානා එකක තමයි මම නතර වෙන්නේ.
මම දැක්කා ඒ හෝටලේ අයිතිකාර මහත්තයාගේ කරේ රත්තරන් මාලයක් තියෙනවා. මම හිතුවා ඒක කඩාගත්තොත් මගේ ණය ටික ඉවරකරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතලා තමයි 20 වනදා උදේ කටුබැද්දේ කඩයට ඇවිල්ලා ඔය පිහියත් අරගෙන බස් එකේ ට්‍රින්කෝ ගියේ. මම එහෙම යනකොටත් හවස් වෙලා තිබුණා. මම කාබානා එකක් ඉල්ලුවා නතර වෙන්න. නිමල් මහත්තයා මට කබානා එක දෙන්න යන කොට...
‘‘හරි දැන් කෝ උඹ කඩාගත්ත මාලේ.’’
‘‘ඒක මම පවුලට ගෙනත් දුන්නා. එයා ඒක හෙට්ටිවීදියට විකුණලා සර්..’’
‘‘කීයකටද?’’
‘‘ලක්ෂ 32කට..’’
‘‘කෝ ඒ සල්ලි...’’
‘‘ටිකකින් ණය බේරුවා. ඉතිරි ටික ගෙදර තියෙනවා.’’
මවුන්ට් විව් නිවාඩු නිකේතනයේ හිමිකරු ඝාතනය කළ ආකාරය එකක් නෑර සැකකරු නිලධාරීන් ඉදිරියේ පවසන්නට විය.
‘‘උඹගේ නේද අර සුදු තොප්පිය?’’
‘‘ඔව්, සර්. ඒක එතැන වැටුණා. මට ගන්න අමතක වුණා. පස්සේ මට නිමල් මහත්තයාගේ රතු පාට කැප් එක හම්බ වුණා. මම ඒකත් දාගෙන තමයි ඒ ගෙදරින් පිටවුණේ’’ ඔහු කියන්නට විය. එය ඇත්තක් බව නිලධාරීන්ට වැටහිණ. ඒ, සීසීටීවී කැමරාවක ඔහු රතු පැහැති තොප්පිය පැලඳගෙන ගමන් කරන දර්ශන නිලධාරීන් සතුව තිබූ නිසාය.
සැකකරු ධීවරයෙකි. දකුණු පළාතේ බෝට්ටුවක රැකියාව කරන්නෙකි. දකුණෙන් මුහුදු යන මොවුහු දින ගණනාවක් ඈත දියඹේ රැඳෙමින් මසුන් අල්ලති. එලෙස අල්ලන මසුන් දින ගණනාවකට පසු තිරිකුණාමල කොබ්බේ වරායට රැගෙන එති.
මෙලෙස වරායට සිය බෝට්ටු පැමිණ ඇති බව දැන ගැනීමෙන් පසු එම බෝට්ටු හිමිකරුවන්ද කොබ්බේ වරායට පැමිණ බෝට්ටුවල ඇති මත්ස්‍ය තොග විකිණීමට යුහුසුලු වෙති.
මෙම මසුන් විකුණා අවසන් වනතුරු බෝට්ටුවල සේවය කළ ධීවරයෝ තම තමන්ගේ මුදල් කොටස් ගැනීමේ අදහසින් තිරිකුණාමල අවට හෝටල්වල කා බී සතුටු වෙමින් ලැගුම් ගනිති. සැකකරුද එවැන්නෙකි. මොහු සිය බෝට්ටුව කොබ්බේ වරායට සේන්දු වීමෙන් අනතුරුව වරායට යාබද මවුන්ට් විව් හෝටලයේ නවාතැන් ගන්නෙකි. එහිදී ඔහුට එහි හිමිකරු නිමල් දැන හඳුනා ගැනීමට හැකිව තිබිණ. ඒ දැන හඳුනා ගැනීම මත සැකකරු නිමල්ගෙන් මුදල් පවා ණයට ගෙන පසුව ඒවා පියවා තිබිණි. මෙවන් අවස්ථාවල සැකකරුගේ දෙනෙත් නිතරම රැඳී තිබී ඇත්තේ නිමල් ගෙල පැලඳි පවුම් 10 රන් මාලය වෙත බව පොලිසිය කියයි. එය කඩාගතහොත් තමන්ගේ ණයතුරුස් බේරා ගැනීමට හැකි බව දත් සැකරකු ඉකුත් 20 වැනිදා බසයකින් තිරිකුණාමල සිංහපුරට පැමිණ එහි කබානාවක නතර වන මුවාවෙන් පැමිණ නිමල්ගේ ගෙල තිබූ රන් මාලය පැහැරගෙන ගොස් ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
ගෙල බැඳි රන් මාලය කඩා ගැනීමට උත්සාහ කිරීමේදී නිමල්, සැකරකු සමග පොර බැදීමත් සමග සැකකරුගේ අත්ඔරලෝසුවද දෙකට කැඩී තිබිණි. තමාගේ වම් අතද උල් පිහියට කැපී ගොස් ඇති බව සැකකරු පොලිසියට කීවේය.
පසුව කැපුණු අතෙන් රුධිරය විහිදෙද්දී නිමල්ගේ නිවසට පැමිණ සැකකරු අත සෝදාගෙන, අත නිමල්ගේ ඇඳුමකින් වෙලාගෙන තිබිණි. කාමරයේ තිබූ බෑගයක් පරීක්ෂා කරද්දී එහි රුපියල් පන්දහසේ නෝට්ටු කිහිපයක්ද තිබෙන අයුරු දැක එම බෑගයද කරේ දමාගෙන එතැන තිබූ රතු පැහැති තොප්පියද හිසේ පලඳාගෙන නිමල්ගේ නිවසින් පලා ගොස් තිබිණි. අපරාධයක් කර සැඟව සිටිය නොහැකිය යන කියමන යළි යළිත් සාක්ෂාත් කරමින් නිමල් මරා සැඟව සිටි සැකකරු පොලිස් නිලධාරීන්ගේ දක්ෂ විමර්ශනයකින් පසු දින හතරක් ඇතුළතදී කොටුකර ගැනීමට හැකිවීම සුවිශේෂී විමර්ශනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ, තිරිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, තිරිකුණාමල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.සී.ජේ. පුෂ්පකුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද සිල්වා යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත තිරිකුණාමලය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චායා කුමාරසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගන, පොලිස් පරීක්ෂක බුද්ධික, සැරයන් රොෂාන් (49025), වනසිංහ (75852), උදයකුමාර (78000), කාන්තා සැරයන් රාජපක්ෂ (2713), කොස්තාපල්වරුන් වූ රූපසිංහ (83346), නියාස්ඩීන් (85792), හිල්මි (90101) සහ කාන්තා කොස්තාපල් දේශනී (12913) යන නිලධාරීහු මෙම විමර්ශනයට එක්ව සිටියහ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සාම්පූර් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.ඩී. චන්ද්‍රසිරි ඇතුළු කණ්ඩායම විසින් කරන ලදි. මොරටුව පොලිසියේ කොස්තාපල් ප්‍රදීප් (33659), විජිදරන් (99082) සහ මධුවන්ත (101590) යන නිලධාරීන්ද මීට සහාය විණි.
(පොලිස් පරීක්ෂණ ඇසුරිනි.)


