ස්ථාන 20කින් බේරේ වැවට මළපහ බේරේ
29 October 2026 | සාලිය කුමාර ගුණසේකර
ස්ථාන 20කින් බේරේ වැවට මළපහ බේරේ
29 October 2026 | සාලිය කුමාර ගුණසේකර
පසුගිය වසර 40 ක පමණ කාලයක් තිස්සේ බේරේ වැවට ස්ථාන 20කට වැඩි ප්රමාණයකින් මළාපවහන මාර්ග එකතු වන බවට හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන) ඉන්ජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.
‘‘අත්තම’’ වැඩසටහන පිළිබඳ මාධ්ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
බේරේ වැවේ දුර්ගන්ධයට මෙම මලාපවහන එකතුවීම බලපා තිබෙන බවත්, එමෙන්ම බේරේ වැවට එකතුවන ඇළ මාර්ගවලට ඒවා දෙපස පදිංචිකරුවන් විසින් එකතු කරනු ලබන ඝන අපද්රව්ය නිසාද බේරේ වැව කාලයක් තිස්සේ දූෂණයට ලක්ව තිබෙන බවද ඔහු කීවේය.
මෙලෙස මලාපවහන බේරේ වැවට එකතුවීම වළක්වා ඒවා විද්යානුකූලව පොම්පාගාර හරහා පිරිපහදු කටයුතු සඳහා යොමුකළයුතු බවට හදුනාගෙන තිබෙන බවද අතිරේක ලේකම්වරයා පැවසීය.
ජනාධිපති කාර්යාලය මැදිහත්වී බේරේ වැව සම්බන්ධව මැදිහත්වී රුපියල් මිලියන 200ක පමණ මුදලක් වැය කර එහි රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද ඔහු පැවසුවේය.
ජනාධිපති කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, ගංගාරාම විහාරස්ථානය එකතු වී බේරේ වැව වටා පිරිසුදු කිරීමේ වැඩසටහනක්ද ක්රියාත්මක කළ බවද ඔහු කීවේය. නමුත්, බේරේ වැව නැවත යථා තත්ත්වයට පත් කිරීමට එය ප්රමාණවත් නොවන බවද ඔහු කීවේය.
සංචාරක අමාත්යාංශය යටතේ තිබෙන ඌන උපයෝජිත අරමුදලක මුදල් රුපියල් මිලියන 2,500ක් මේ වසර සඳහා කොළඹ මහ නගර සභාවට, ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලබාදීමට නියමිත බවත්, ඒ අනුව බේරේ වැවට එකතු වන මලාපවහන පද්ධති ඉවත් කිරීමට, බේරේ වැවට එකතු වී තිබෙන රොන් මඩ ඇතුළු අපිරිසුදු කොටස් ඉවත් කිරීමට තවදුරටත් ඉවත් කිරීමට නියමිත බවද ඔහු කීවේය.
මෙහිදී, විශේෂඥ උපදෙස් සහිතව බේරේ වැව සම්බන්ධව ක්රියාත්මක කළයුතු කාරණාවලට අදාළව පුළුල් අධ්යයනයක් කිරීමට නියමිත බවද අතිරේක ලේකම්වරයා කියා සිටියේය.

