brand logo
logo
ගඟෙන් වතුර බී එය කෙලෙසන්නෝ !

ගඟෙන් වතුර බී එය කෙලෙසන්නෝ !

27 August 2026

කැලණි ගඟ දූෂ්‍යවීම පිළිබඳ යළි හා හූවක් පැතිර යමින් තිබේ. ඒ එම ගඟ ආශ්‍රිත කුඹුරකට මුදා හැර තිබුණු නිල් පැහැති වර්ණකාරක රසායනකයක් පදනම් කරගෙනය. එකී වර්ණකාරකය හේතුවෙන් ගඟේ වතුර දූෂ්‍ය වී තිබෙන බව තහවුරු වී තිබේ. කැලණිගඟ බුදු සිරිපා පහස විඳ පහළට ගලාගෙන එයි. කිතුල්ගලද පසුකර අවිස්සාවේල්ලටත් එතනින් කොළඹ පැත්තටත් ගඟ ගලන විට එය දැඩි දූෂණයට ලක් වෙයි. එයට හේතුව අන්කිසිවක් නොව මිනිස් ක්‍රියාකාරකම්ය. ගඟ දෙපස කර්මාන්තශාලා, අනෙකුත් ව්‍යාපාර, අධික ජනගහනය ගඟ දූෂණය වීමට බෙහෙවින් හේතු වී තිබෙන බව තහවුරු වූයේ අද ඊයේ නොවේ. මෙකී කර්මාන්තශාලා අතරින් සමහර කර්මාන්තශාලා නිසි පරිසරය තක්සේරුව ලැබූ ඒවා නොවේ. එවැනි පාරිසරික තක්සේරුවක් නොමැතිව ඉදිකළ එම කර්මාන්තශාලා දිනපතා කැලණි ගඟට විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුදා හරී.


මෙයට කලකට පෙර මධ්‍යම පරිසර අධිකාරිය ලංකාවේ ගංගා දූෂ්‍ය වීම පිළිබඳ කළ සොයා බැලීමේදී තහවුරු වූයේ සිව්වැනිව විශාල ගංගාව වන කැලණි නදිය මෙරට දූෂිතම, බෙහෙවින් දූෂණයට ලක්වන ගංගාව බවය. එසේම ලංකාවේ ගංගා දූෂණය සඳහා බෙහෙවින් කර්මාන්තශාලා බලපාන බව අප සඳහන් කළ අතර කැලණි ගඟ ආශ්‍රිතව විවිධ ප්‍රමාණය කර්මාන්තශාලා වැඩි ප්‍රමාණයක් පිහිටුවා තිබේ. වසර කිහිපයකට පමණ පෙර කළ සමීක්ෂණයකට අනුව එබඳු කර්මාන්තශාලා 10733කට අධික ප්‍රමාණයක් කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල දැකිය හැකිය.


මෙකී කර්මාන්ත ශාලා පාරිසරික ආයතනවල නිරීක්ෂණයට ලක් වෙනවාද යන්න ගැටලු සහගතය. එවැනි නිරන්තර නිරීක්‍ෂණයකට සොයා බැලීමකට ලක්වන්නේ නම් කැලණි ගඟ කාලයක් තිස්සේ මිය දෙමින් තිබෙන්නේ නැත. කැලණි ගඟ කෙතරම් විනාශ වී තිබේද යත් එහි ගමන් මඟද විකෘති වී තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ගඟක සුපුරුදු ගමන් මාර්ගය වෙනස්වීම සුළුපටු කරුණක් නොවේ. ඒ සඳහා ස්වභාවික බලපෑම් ද සාධකයක් හැටියට හේතු විය හැකිය. එහෙත් කැලණි ගඟේ ගමන් මාර්ගය වෙනස් වී තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. බස්නාහිර පළාතේ ජීවත්වන සියයට අසූවට අධික පිරිසකට පානීය ජල පහසුකම් සපයනුයේ කැලණි ගඟය. එහෙත් කැලණි ගඟෙන් පිපාසය නිවාගන්නා බොහෝ උදවියට ගඟ අමතකය. ගඟ ගැන හැඟීමක් නොමැත. විශේෂයෙන් මහා පරිමාණ කර්මාන්තශාලා අවධානය යොමු කරන්නේ තමන්ගේ ලාභය කෙරෙහි පමණි. ගඟක් තිබුණත් නැතත් ඔවුනට කම් නැත. එවැනි ලාභය සොයා යන සමාගම්වලට කැලණි ගඟ පිළිබඳ හැඟීමක් නැති වුවද රාජ්‍යයකට මහජනතාවට බෙහෙවින් බලපාන, ඔවුන්ගේ ජීවන පැවැත්ම හා බැඳී තිබෙන ගඟක පැවැත්ම පිළිබඳ බරපතළ වගකීමක් තිබේය. අපේ පැරණි ආකල්ප පමණක් නොව ලෝකයේ බොහෝ පුරාණ ශිෂ්ටාචාර ගංගා සැලකුවේද එක්තරා ආකාරයක දේවතා කොට්ඨාසයක් හැටියට. සැබවින්ම ගඟක් යනු වියළි පෘථිවිය තෙත් කරමින් වසර දහස් ගණනක් තිස්සේ ගලා බසින, විශාල ඉතිහාසයක්, කතාවක් තිබෙන ජීවී සත්ත්වයෙකි. ගඟට ද ජීවිතයක් ඇත. එහෙත් ගඟටද ජීවිතයක් තිබෙන බව අපට අමතකය. බොහෝ දෙනා සලකනුයේ ගඟකට ඕනෑ කුණු ගොඩක් දැමිය හැකි බවය. ඒ ඕනෑම කුණු ගොඩක් ගඟකට දරා ගත හැකි බවද ඔවුහු කල්පනා කරති. එනිසා කිසිදු පැකිළීමක් නැතිව ගංගාවලට අපද්‍රව්‍ය දමති. කැලණි ගඟ යනු මිනිසුන් විසින් කුණු බඳුනක් හැටියට සලකා දරාගත නොහැකි අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිරන්තරයෙන් බැහැර කරන්නකි.


මෙකී අනතුරෙන් කැලණි ගඟ ඇතුළු ගංගා රැකගැනීම සඳහා සුරකිමු ගංගා යනාදී ව්‍යාපෘති ආරම්භ කර මුදල් වෙන්කරද එමගින් සිදුවූ දෙයක් අප නම් දන්නේ නැත. එදා සේම අද ද කැලණි ගඟට දිනපතා මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය බැහැර කරති. එමගින් ගංගා ආරක්‍ෂා කරගැනීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර තිබෙන වැදගත් යෝජනාවක් නම් ගංගාරක්ෂිත යළි නම්කර ප්‍රකාශයට පත්කිරීමය. එහෙත් එකී යෝජනාව ක්‍රියාවට නැගුණේ නැත. ආණ්ඩුව නොපමාව එය පිළිබඳ සොයා බලා ගංගා රක්ෂිත නම් කළ යුතු ය. එසේම ගංගා දූෂණය කරන පුද්ගලයන්ට සහ කර්මාන්ත ශාලාවලට එරෙහිව දැඩි පියවර ගත යුතුය. පාරිසරික ප්‍රමිතීන්ගෙන් තොර කර්මාන්තශාලා වසා දැමීමට ක්‍රියා කළ යුතුය. එසේ නොවුණහොත් කැලණි ගඟ ලංකාවේ නොව ලෝකයේ දූෂිතම ගංගාව බවට පත්ව නොබෝ කලකින් මියැදෙනු ඇත. ගඟ සමග ක්‍රමයෙන් එහි දිය පානය කරන ජනතාවද මියැදෙනු ඇත. එයට පෙර කැලණි ගඟ ඇතුළු ලංකාවේ සියලු ගංගාවල පැවැත්ම වෙනුවෙන් පියවර ගත යුතුය. අපේ ඉතිහාස තොරතුරු අනුව බුදුන් වහන්සේ කැලණි ගඟ මිටියාවතට පැමිණ ජලස්නානය කර තිබේ. එනිසා එකී ගඟ පිළිබඳ අපට ඇතිවනුයේ යම් පාරිශුද්ධ හැඟීමකි. එහෙත් එකී හැඟීම අද අභියෝගයට ලක්වී තිබේ.

 

More News..