ලොව ප්රමුඛ පෙළේ වෙබ් අඩවි 200කට සයිබර් ප්‍රහාරයක්
18 November 2026
ලොව ප්රමුඛ පෙළේ වෙබ් අඩවි 200කට සයිබර් ප්‍රහාරයක්
18 November 2026
ලොව ප්රමුඛ පෙළේ වෙබ් අඩවි 200කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් පරිශීලකයන්ගේ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
BBC, CNN, IKEA, Air France, HSBC UAE බැංකුව, Zoom සහ Salesforce ඇතුළු ප්‍රසිද්ධ ආයතන රැසක වෙබ් අඩවි මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Cyber News වාර්තාවට අනුව, හැකර්වරුන් විසින් ප්‍රධාන සමාගම් රැසක් භාවිත කරන Optimizely නම් ඩිජිටල් වේදිකාවේ JavaScript කේතයට හානිකර පරිගණක කේත ඇතුළත් කර තිබේ. ඒ හරහා වෙබ් අඩවි 178ක් පමණ ඉලක්ක කර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පරිශීලකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, ක්‍රිප්ටෝ මුදල් සහ වෙනත් මූල්‍ය දත්ත සොරකම් කිරීමයි.
එමෙන්ම Apple උපාංගවල ආරක්ෂක දුර්වලතා තවදුරටත් ප්‍රයෝජනයට ගැනීම සඳහා ද හානිකර පරිගණක කේත යොදාගෙන ඇති බව වාර්තා වේ.
මෙම සයිබර් ප්‍රහාරය මුලින්ම හඳුනාගත් ආරක්ෂක පර්යේෂක Scott Helme සිය බ්ලොග් අඩවියේ සඳහන් කර ඇත්තේ, ප්රහාරකයන්ගේ ක්‍රිප්ටෝ මුදල් පසුම්බි වෙත නොවැම්බර් 16 වැනිදා පැය නවයක පමණ කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් 7,040ක පමණ මුදලක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි බොහොමයකට ඇතුළත් කර තිබූ හානිකර පරිගණක කේත මේ වන විට ඉවත් කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, Optimizely සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තම Web Experimentation සේවාව භාවිත කරන ඇතැම් පාරිභෝගිකයන්ට බලපාන ආරක්ෂක සිදුවීමක් හඳුනාගෙන එය පාලනය කිරීමට පියවර ගත් බවයි.
ආරක්ෂක ගැටලුවට හේතු වූ මාර්ගය අවහිර කර ඇති අතර, වෙබ් අඩවිවලට ඇතුළත් කර තිබූ හානිකර පරිගණක කේත ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් දැනුවත් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.


