ප්‍රතිජීවක තවදුරටත් ‘ජීවකයෙක්’ නොවේ?
20 November 2026 | සටහන -චම්පිකා දීපානි රණසිංහ
ප්‍රතිජීවක තවදුරටත් ‘ජීවකයෙක්’ නොවේ?
20 November 2026 | සටහන -චම්පිකා දීපානි රණසිංහ
විසි වැනි සියවසට පෙර ලෝක ප්‍රජාව මිය ගියේ පිළිකා හෝ හෘදයාබාධ වැනි බෝ නොවන රෝගවලින් නොවේ. ඉතා සුළු තුවාලයකින්, සාමාන්‍ය උගුරේ ආසාදනයකින්, නියුමෝනියාවෙන්, ක්ෂය රෝගයෙන්, ප්‍රසූතියේදී ඇතිවන ආසාදනයකින් මිය යාම එකල සුලබ විය. සැත්කම් සාර්ථකව කළ ද පසුව තුවාල පැසවීම නිසා රෝගීහු මිය ගියහ. ප්‍රතිජීවක සොයා ගැනීමට පෙර යුගයේ වයස අවුරුදු 47 දී මිය යාම සාමාන්‍ය කරුණක් විය. එහෙත් ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං අහඹු ලෙස පෙනිසිලින් ප්‍රතිජීවක සොයා ගැනීම මානව සංහතිය මරණයෙන් ගලවා ගැනීමක් හා සමාන විය. වයස පනහකවත් නොතිබූ ආයු අපේක්ෂාව තවත් වසර විස්සකට වැඩි කාලයක් දක්වා ඉහළ ගියේය.
එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද?
වර්තමානයේ ද නියුමෝනියාවෙන් මිනිසුන් මියයාමට පටන්ගෙන ඇත. ඊට හේතුව දිගින් දිගටම ප්‍රතිජීවක අනිසි ලෙස, හිතුමතේ භාවිත කිරීම හේතුවෙන් බැක්ටීරියා පරිණාමය වී දැනට ලෝකයේ ඇති ප්‍රබලම ප්‍රතිජීවක ඖෂධවලට පවා විනාශ කළ නොහැකි "සුපිරි බැක්ටීරියා" බවට පත්ව තිබීමය. මේ වන විට ප්‍රතිරෝධී ක්ෂුද්‍ර ජීවීන් බිහිවීම සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණපා සිටින දැවැන්ත අභියෝගයක් වී අවසානය. සඳේ නිවෙස් තැනූ මිනිසා යළි පෘථිවියේ ගල් ගුහාවල පදිංචියට එනවාක් හා සමාන ක්‍රියාවක් සිදුවෙමින් පවතී. මේ වන ලෝකයා එය අත්දකිමින් පවතී.
වර්තමානයේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රජයේ සහ පෞද්ගලික රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ නව ජන්ම දැඩි සත්කාර ඒකක බහු-ඖෂධ ප්‍රතිරෝධී ක්ෂුද්රජීවීන් පැතිරීම නිසා තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමට සිදුවූ අවස්ථා නිරන්තරයෙන්ම වාර්තාවේ. ඉන්දියාවේ රෝහල්වල උපදින නව ජන්ම දරුවන් වසරකට දස දහස් ගණනක් ප්රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියා නිසා ඇතිවන රුධිර විසවීම් (සෙප්සිස්) හේතුවෙන් මියයන බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ සභාවේ (ICMR) දත්ත පෙන්වා දෙයි. මෙය සංවර්ධනය වන රටවලට පමණක් නොව ඇමරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපය ද මුහුණපා ඇති තත්ත්වයකි.
වසර 2050 වසර වන විට ලෝකයේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය හේතුවෙන් සෑම මිනිත්තු තුනකට වරක්ම මරණයක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තුගත කර තිබේ. ඒ ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව ඒ වන විට ලෝක ජනගහනයෙන් පිළිකාවලින් මිය යන රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන අටක් වන අතර මාර්ග අනතුරුවලින් මියයන ගණන මිලියන එකක් පමණ වේ. එහෙත් ප්‍රතිජීවක ප්රතිරෝධීතාවෙන් මිය යන ගණන මිලියන දහයක් විය හැකි බවට අනුමාන කර තිබේ. මිනිසා ඇතුළු ශාක - සත්ත්ව සන්තතියමත් සිටින්නේ පිපිරීමට ආසන්න ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව නම් ගිනි කන්දක් මත කිවහොත් වඩා නිවැරැදිය.
ශ්‍රී ලංකාවේ තත්ත්වයේ ද වෙනසක් නැහැ
මෙරට විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයක පර්යේෂකයන් විසින් කළ අධ්‍යයනයකින් කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවල සිට කොළඹට ආසන්න පහළ ධාරා ප්‍රදේශය (විශේෂයෙන් කැලණිය, පෑලියගොඩ සහ මෝදර අවට) දක්වා ලබාගත් ජල සාම්පල පරීක්ෂා කිරීමේදී E. coli සහ Coli form වැනි බැක්ටීරියා විශේෂ බහුලව හමුවී ඇති අතර, ඒවායින් සැලකිය යුතු ප්‍රතිශතයක් නිතර භාවිත කරන ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු දෙන බව අනාවරණය වී ඇත. ගඟේ ජලය ඍජුවම භාවිත කරන පුද්ගලයන්ට (ස්නානය කිරීම, රෙදි සේදීම හෝ ගංවතුර අවස්ථාවලදී) මෙම ප්‍රතිරෝධී බැක්ටීරියාවලින් විවිධ ආසාදන ඇතිවීමේ අවදානමක් පවතී. මේ අනුව අපේ ගංගා, ඇළ, දොළ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ඔසුවලින් තොර යැයි කියා පරීක්ෂා නොකර සහතික කළ නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඇතැම් බැක්ටීරියා ප්‍රතිජීවක වර්ග තුනකට හෝ ඊට වැඩි ගණනකට ඔරොත්තු දෙන බව මේ අධ්‍යයනයේදී නිරීක්ෂණය වී ඇත. සතුන්ට ද මේවා ශරීර ගතවී තිබුණොත් සත්ත්ව ආහාරවලින් ද ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා ශරීරගතවීමේ අවදානම ඉහළ යයි. මේ නිසා සත්ත්ව පාලනයේදීත් නිසි ලෙස ප්‍රතිජීවක ලබාදීම ගැන දැඩි අවධානයක් දැක්විය යුතු කාලයක් එළැඹ තිබේ.
අපේ රටේ ද අලුත උපන් දරුවන්ගේ පවා ප්‍රතිජීවක ප්‍රතිරෝධී ක්ෂුද්‍ර ජීවීන් හමුවී තිබේ. මුත්‍රා ආසාදන ඇති කරන E. coli බැක්ටීරියාවෙන් 50% - 60%කට වඩා වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් භාවිත කරන ප්‍රතිජීවක කිහිපයකට (උදා: Ciprofloxacin, Ampicillin) ප්‍රතිරෝධී වී ඇති බව මෑත කාලයේ නිරීක්ෂණය වී ඇත. දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ගේ නියුමෝනියාව ඇතුළු තවත් දරුණු ආසාදන රැසක් ඇති කරන බැක්ටීරියා විශේෂ රෝගයට දිය හැකි උපරිම ප්‍රතිජීවක ඔසුවලට පවා ඔරොත්තු දෙන බව නිරීක්ෂණය වී තිබේ. රෝහල්වල ශල්‍යාගාර තුළ සුපිරි බැක්ටීරියා පැතිරුණු විට, විෂබීජහරණය කරන තෙක් සියලුම ශල්‍යකර්ම නතර කිරීමට සිදුවේ. සාමාන්‍ය ප්‍රතිජීවක ක්‍රියා නොකරන විට, රෝගීන් දීර්ඝ කාලයක් හුදකලා කළ වාට්ටුවල (Isolation wards) තබා ගැනීමටත්, ඉතා මිල අධික විකල්ප ඖෂධ ලබාදීමටත් සිදුවීම නිසා රෝහල්වලට දරාගත නොහැකි ආර්ථික බරක් පැටවේ.
අපේ වරද්දා ගැනීම්
අපේ රටේ ප්‍රතිජීවක ඔසු මහජනතාව අතරේ කලක් පුරා ජනප්රියවී තිබුණේ ‘‘වන් ෂොට්’’ හෙවත් වරක් ගත් පමණින් සුවය ලබාදෙන ඔසුවක් ලෙසය. මේ වැරැදි වැටහීම නිසා එය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් පවතී. ප්‍රතිජීවක කියන්නේ මිනිසුන්ට සහ සතුන්ට වැලඳිය හැකි බැක්ටීරියා ආසාදනවලට එරෙහිව ක්‍රියාකරන ඖෂධයකි. ප්‍රතිජීවක මගින් කරන්නේ බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ වර්ධනය අඩාළ කිරීමය. බැක්ටීරියා ආසාදන වශයෙන් සැලකෙන මුත්‍රා ආසාදන, ඇතැම් නියුමෝනියා තත්ත්වයන්, උදර ආසාදන හා ආසාදනය වූ තුවාල ආදියට ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිජීවක ඔසු බහුලව භාවිත කරනු ලබයි.
අද ලංකාවෙත්, ලෝකයේත් ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව පත්ව තිබීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නිර්දේශයකින් තොරව ජනතාව මේවා භාවිත කිරීමට පෙලඹීමය. නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, වයිරස උණ, පාචනය, සුළු උගුරේ ආසාදන වැනි තත්ත්ව සඳහා ප්‍රතිජීවක ඔසු කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත. එහෙත් අපේ සමහර රෝගීහු වෛද්‍යවරුන්ගෙන් වයිරස රෝගවලට ප්‍රතිජීවක ඔසු දෙන ලෙසට බල කර ඉල්ලා සිටිති. එය අප, අපටම කරගන්නා බලවත් වරදකි.
වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිජීවක ඔසු ලබා ගනිද්දී ඖෂධ නියමිත මාත්‍රාවට, නියමිත වාර ගණනට, නියමිත දින ගණනේදී ලබා ගත යුතුය. එහෙත් දිනක් දෙකක් ඔසු ලබාගෙන සුවයක් දැනුණු විට වැඩි දෙනෙක් කරන්නේ ඔසුගැනීම නතර කර දැමීමය. සිරුරට සුවයක් දැනුණ ද තවමත් බැක්ටීරියා ඇති බව අමතක නොකළ යුතුය. වෛද්‍යවරයා දී ඇති කාල සීමාව සම්පූර්ණ වනතුරු ඔසු ලබාගත යුත්තේ එබැවිනි.
හිතුමතේ අතරමගදී ඖෂධ ගැනීම නතර කිරීමෙන් සිදුවන්නේ රෝග කාරක බැක්ටීරියාව ජාන විකෘති කරගෙන වඩාත් ප්‍රබල බවට පත්වීමය. එසේ වූ විට ඊළඟ වාරයකදී නැවත ඒ බැක්ටීරියාවෙන්ම රෝගීවූ විට කලින් දුන් ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් සුවයක් ලබාගත නොහැකිය. එවිට වඩාත් ප්‍රබල ප්‍රතිජීවක ඔසුවක් ලබාදීමට සිදුවේ. අසූව දශකයෙන් පසු අලුතින් ප්‍රතිජීවක නිපදවා ඇත්තේ අවම වශයෙනි. එබැවින් ඇතැම් විට රෝගියාට දීමට වඩා ප්‍රබල ඔසුවක් නැතිවීමට පුළුවන. එවිට තත්ත්වය මාරාන්තික විය හැකිය. ප්‍රතිජීවක ඔසු අඩුවෙන් ගැනීම වගේම වගේම වැඩියෙන් ගැනීමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි.
තමන්ට ලබා දුන් ඔසු වෙනත් අයට ලබාදීම අපේ අය කරන තවත් බරපතළ වැරැද්දකි. මෙයින් ප්‍රතිජීවක ප්රතිරෝධීතාවක් ඇතිවීමට වගේම අසාත්මිකතාවක් ඇතිවීමට ද ඉඩ තිබේ. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව මෙන්ම අසාත්මිකතාවද මාරාන්තික විය හැකිය.
සමහරු එක් වරකට දුන් ප්‍රතිජීවක ඔසු නැවත ඒ ලක්ෂණ ඇතිවූ විට භාවිත කරයි. ඇතැම් විට ප්‍රතිජීවක ඔසු පැකැට්ටුව ඒ වන විට කල් ඉකුත්වී තිබෙන්න පුළුවන. ඖෂධ පැකැට්ටුවල කල් ඉකුත් වීමේ දිනය සටහන් කර තිබෙන්නේ එක් තැනකය. එතැන ගැලවී ගියොත් කල් ඉකුත්වන දිනය බලාගැනීමට විදියක් නැත. මෙසේ හිතුමතයේ ප්‍රතිජීවක ඔසු භාවිත කළහොත් විවිධ අතුරු ආබාධ ඇතිවීමට පුළුවන. අක්මාව, වකුගඩු අක්‍රීයවීම, සුදු රුධිරාණු ප්‍රමාණය අඩුවීම, ඇස් පෙනීම - කන් ඇසීම දුර්වලවීම වැනි අතුරු ආබාධ ඇති විය හැකිය.
මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය හිතකර බැක්ටීරියා රාශියක් අපේ සිරුරේ වාසය කරයි. අත්තනෝමතිකව ප්‍රතිජීවක ඔසු ගැනීමෙන් අපේ හිතකර බැක්ටීරියා, ක්ෂුද්රජීවීන් විනාශ වෙයි. හිතකර බැක්ටීරියා සිරුරේ සමතුලිත බව පවත්වා ගෙන යාම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය රැකගැනීම, ආහාර ජීර්ණයට උපකාරවීම, ආසාදනවලින් වැළැක්වීම වැනි බොහෝ කාර්යයන් සඳහා අවශ්‍යය.
ඉතිරිවන ප්‍රතිජීවක ඔසු තැන තැන විසි නොකළ යුතුය. පරිසරයට මේවා එක්වීමෙන් පරිසරයේ හිතකර බැක්ටීරියා මිය යනවා වාගේම ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා බිහි වීමේ අවදානමක් ඇතිවේ.
වෙනත් ක්‍රමවලින් ද පරිසරයට ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා එක්වෙයි.
සුනඛයන්, බළලුන් වගේ සුරතල් සතුන්ට ප්‍රතිජීවක ලබාදීමේදී ද පශු වෛද්‍යවරයා නියම කරන පරිදි ලබා දිය යුතුය. මිනිසා මෙන්ම සතුන්ද ප්‍රතිජීවක ප්රතිරෝධිතාවට ගොදුරුවේ. සත්ත්ව ගොවිපළවල ප්‍රතිජීවක සත්ත්ව වර්ධකයක් ලෙස භාවිත කිරීම තහනම් වුවද තහනම නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම ගොවිපළ හිමිකරුවන් සතුය. විසිතුරු පැළ වගාවේදීද සුරතල් මසුන් ඇති කිරීමේදීද මේවා අනිසි ලෙස භාවිත වීමට ඉඩ තිබේ. මේ සියල්ලකින්ම සිදුවන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ක්ෂුද්‍ර ජීවීන් වගා කිරීමකි.
ප්‍රතිජීවක ඔසු ගැනීමේ ඉඩ අඩු කිරීමට සාමාන්‍ය ජනතාව ගත යුතු පියවර
ආසාදනවලින් වැළකීමට කලට වේලාවට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත යුතුය. නිවෙසින් බැහැරට ගොස් පැමිණි විට සබන් ගා දෑත් සේදීම, පලතුරු, එළවළු, මුළුතැන්ගෙයි උපකරණ හොඳින් සෝදා පිරිසුදුව භාවිත කිරීම වැනි යහපත් සුව පුරුදු පවත්වාගෙන යාම වැදගත් වේ.
නොවැම්බර් 18 සිට 24 දක්වා ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධී සතිය යෙදී තිබේ. මෙවර එහි තේමාව "එක් සෞඛ්‍යයක්, එක් ක්‍රියාමාර්ගයක්. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව දැන්ම වළක්වමු" යන්නය. මිනිසුන්ගේ, පරිසර පද්ධතියේ සෞඛ්‍ය එකිනෙකට දැඩි ලෙස බැඳී ඇති බවත් (One Health), ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව පාලනය කිරීම සඳහා සෑම ක්ෂේත්රයකම සිටින සියලුදෙනා එක්ව දැන්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෙමගින් අවධාරණය කෙරෙයි. අප අද අදම ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව වැළැක්වීමට නිසි පියවර නොගත්තොත් හෙට දිනයේ සුළු බැක්ටීරියා ආසාදනයක් පවා මාරාන්තිකවීමේ අවදානමක් පවතින බව අමතක නොකළ යුතුය.
තොරතුරු සහාය -
ක්ෂුද්‍ර ජීවී වෛද්‍ය විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර
ක්ෂුද්‍ර ජීවී වෛද්‍ය විද්‍යායතනයේ හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ජයන්ති ඇල්විටිගල


