brand logo
මම විශේෂඥ වෛද්‍යවරියක් කියලා බොරු ප්‍රචාරයක් යවලා

මම විශේෂඥ වෛද්‍යවරියක් කියලා බොරු ප්‍රචාරයක් යවලා

02 April 2024 | නිරෝෂා වාසල

පුංචි සුරංගනාවි’, ‘සරෝජා’ වැනි චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ට මුණගැසුණු පුංචි සුරංගනාවිය නිත්‍යවානි කන්දසාමි තමයි අද ‘පිනිපලස’ පිළිසඳරේ කතා නායිකාව. පුංචි සුරංගනාවි චිත්‍රපටයෙන් පසුව ඇය එක් ටෙලි නාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වුණා. නමුත් ඒ ටෙලි නාට්‍යය විකාශනය වුණේ නැහැ. ඉන් අනතුරුව කාලයක් දෙමළ වැඩසටහන් නිවේදිකාවක් හැටියටත් නිත්‍යවානි කටයුතු කළා. ඒත් පුංචි සුරංගනාවී චිත්‍රපටයෙන් පසුව මේ සුරංගනාවිය කවමදාවත් රිදී තිරයෙන් නම් ප්‍රේක්ෂකයන්ට මුණගැහුණේ නැහැ. දැන් නිත්‍යවානි අවුරුදු තිස් දෙකක සුරූපිනියක්. ඒ වගේම වෛද්‍යවරියක්.


නිත්‍යවානි කොහොමද ජීවිතේ?


ජීවිතේ හොඳයි. රැකියාවත් කරගෙන දියණියක් සහෝදරියක් බිරිඳක් විදිහට යුතුකම් වගකීම් ටිකත් කරගෙන සතුටින් කාලය ගත කරනවා.


ඔබ දැන් වෛද්‍යවරියක්?


ඔව්. සීමාවාසික කාලයේ කළුතර ශික්ෂණ රෝහලේ හිටියා. දැන් නම් වැඩ කරන්නේ ගම්පොළ රෝහලේ. මාසයක් විතර වෙනවා ගම්පොළට ඇවිත්. ඇත්තටම සීමාවාසික කාලය අවසන් කරලා මම වෛද්‍යවරියක් විදිහට රැකියාව කරන්න පටන් ගත්තා විතරයි. මම ශල්‍ය වෛද්‍යවරියක් හැටියට කටයුතු කරනවා කියලා පහුගිය දවස්වල සමහරු කියලා තිබුණා. ඇත්තටම ඒක වැරදි තොරතුරක්. මම තවම විශේෂඥ වෛද්‍යවරියක්වත් නොවෙයි. ඒ තැනට එන්න නම් විභාග කරන්න වෙනවා. තව මහන්සි වෙන්න වෙනවා.


වෛද්‍යවරියක් වෙන්නද පොඩි කාලේ ඉඳලා හීන දැක්කේ?


පොඩි කාලේ වෛද්‍යවරියක් වෙනවා කියලා හීනයක් තිබුණේ නැහැ. ඒත් දැනුම් තේරුම් තියෙන වයසට එද්දී වෛද්‍යවරියක් වෙනවා කියලා හිතුවා. ඒ වෙනුවෙන් මහන්සි වුණා. කොතලාවල විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තා. අද වෛද්‍යවරියක් හැටියට මම සේවය කරනවා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.


රංගන ශිල්පිනියක් වීමේ හීනයක් හිතේ තිබුණෙත් නැද්ද?


රංගන ශිල්පිනියක් වෙනවාම කියලා හිතුවේ නැහැ. ඒත් මීඩියාවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා තමයි නිවේදන කටයුතුවලට පෙලඹුණේ. ඒත් ඉතින් ඉගෙන ගන්න වැඩකටයුතුත් එක්ක නිවේදන කටයුතු නතර කරන්න වුණා.


වෛද්‍යවරියක් වීම නිසා නිත්‍යවානිට රංගනය අතහැරුණාද?


එහෙම වුණේ නැහැ. ඇත්තටම සරෝජා සහ පුංචි සුරංගනාවි චිත්‍රපටවලින් පස්සේ මට එකම එක ටෙලි නාට්‍යයකට විතරයි ආරාධනා ලැබුණේ. ඊට පස්සේ රඟපාන්න ආරාධනා ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මට රංගනය අතහැරුණේ.


ආරාධනාවක් ලැබුණොත් නැවතත් ‍රඟපාන්න එනවාද?


ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන සලකලා බලන්න පුළුවන්. මොකද මම කලාවට කැමැති කෙනෙක්. වෛද්‍යවරියක් හැටියට කටයුතු කරන නිසා සම්පූර්ණ කාලයම කලාව වෙනුවෙන් යොදවන්න බැරිවුණත් ඉඩක් ලැබෙන වෙලාවට කලා කටයුතුවල නිරත වෙන්න පුළුවන්නේ. ඒ නිසා හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා.


පුංචි සුරංගනාවි චිත්‍රපටයෙන් පස්සේ සෝමරත්න දිසානායකයන්වත් ඔබට කතා කළේ නැද්ද?


රඟපාන්න එන්න කියල නම් කිව්වේ නැහැ. ඒත් සෝමරත්න මාමා වගේම රේණුකා නැන්දා අදටත් මට කතා කරනවා. සැප දුක් අහනවා. ඒ දෙන්නට මම අද ඉන්න තැන ගැන ලොකු සතුටක් තියෙනවා. සෝමරත්න මාමා තමයි මට රඟපාන්න අවස්ථාවක් දුන්නේ. ඉතින් මම සෝමරත්න මාමාටත් රේණුකා නැන්දටත් ගොඩක් ආදරෙයි. ඒ දෙන්නත් මට ආදරෙයි කියලා මම දන්නවා.


සරෝජා, පුංචි සුරංගනාවි චිත්‍රපටවල රඟපෑව නළු නිළියන් දැන් කතා කරන්නේ නැද්ද?


හැමෝම නම් කතා කරන්නේ නැහැ. ඒත් ප්‍රමුදි අක්කා නම් කතා කරනවා. එයත් දැන් අම්මා කෙනෙක්නේ. ඉතින් ඒ නිසා කාර්යබහුලයි. මමත් රැකියාව නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. ඒත් ඉඩක් ලැබුණාම අපි කතා කරනවා. අපි හොඳ යාළුවෝ.


කාලයක් නිත්‍යවානි නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා නේද?


ඔව්. මුලින්ම ළමා නිවේදිකාවක් විදිහට කටයුතු කළා. ශක්ති TV එකේ ‘පුංචි පැංචි’ දෙමළ වැඩසටහන මම 9 ශ්‍රේණිය දක්වාම කළා. වෛද්‍ය ශිෂ්‍යාවක්ව ඉද්දීත් වසන්තම් TV එකේ වෛද්‍යවරුන් සමග කරන සාකච්ඡාමය වැඩසටහනක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හැටියටත් කටයුතු කළා. අදටත් මම නිවේදන කටයුතු කරන්න කැමැතියි.


ඔබ සරෝජා, පුංචි සුරංගනාවි චිත්‍රපටවල රඟපෑවා කියලා ප්‍රතිකාර ගන්න එන රෝගීන් දන්නවාද?


ඇත්තටම සමහරු නම් මාව අඳුර ගන්නවා. ඒත් සමහර අයට නම් මම ගැන ලොකු මතකයක් නැහැ. ඒත් රෝහලේ මාත් එක්ක වැඩ කරන අය මම ගැන අනෙක් අයටත් කියනවා. සමහරු මාත් එක්ක කතා කරනවා. ගොඩක් දෙනෙක් නැරඹුව ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වූ චිත්‍රපට දෙකක ප්‍රධාන චරිතය කළේ මම කියලා දැනගත්තාම ඒ අයට ගොඩක් සතුටුයි.


තවම සමහරු නිත්‍යවානිට සරෝජා කියලා කතා කරනවා කියන්නේ ඇත්තද?


මම ඒ චිත්‍රපටවල රඟපෑවා කියලා දන්න අය මට ඒ චරිතවල නම්වලින් කතා කරනවා. අවුරුදු විසි ගාණක් ගතවෙලත් තවමත් සරෝජා, පුංචි සුරංගනාවි වගේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට මතක තියෙන එක ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම සරෝජාට පුංචි සුරංගනාවිට ආදරය කළ ප්‍රේක්ෂකයන් ඒ නමින් මට කතා කරද්දි දැනෙන හැඟීම වචනවලින් කියන්න බැරි තරම්.


නිත්‍යවානි ටෙලි නාට්‍ය, චිත්‍රපට එහෙම බලන්නේ නැද්ද?


ඇත්තටම වෙලාව ලැබෙන විදිහට කලා නිර්මාණත් රස විඳිනවා. ඒත් ඒ වෙනුවෙන්ම යොදවන්න ලොකු කාලයක් හොයාගන්න නම් අමාරුයි. කොහොම වුණත් සරෝජා පුංචි සුරංගනාවි චිත්‍රපට රූපවාහිනියේ යද්දි ඉඩක් ලැබුණොත් අනිවාර්‌යෙන්ම මම ඒවා බලනවා.


දැන් හොඳට සිංහල කතා කරන්න පුළුවන් නේද?


මම කරන රැකියාවත් එක්ක සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම කතා කරන්න වෙනවනේ. හොඳටම බැරි වුණත් මට දැන් ඉස්සරට වඩා සිංහල කතා කරන්න පුළුවන්. මම කොහොමත් හැදුණේ වැඩුණේ කොළඹනේ. ඒ නිසා සිංහල කියන්නේ මට නුහුරු භාෂාවක් නෙමෙයි. දෙමළ භාෂාවට වගේම සිංහල භාෂාවටත් මම කැමැතියි.


මොනවද පවුලේ විස්තර?


මගේ පවුලේ සාමාජිකයන් හතර දෙනයි. මමයි අම්මයි තාත්තයි මල්ලියි. ඒ අය කොළඹ සොයිසාපුර ඉන්නේ. මල්ලි දැන් රැකියාවක් කරනවා. තාත්තා ව්‍යාපාරිකයෙක්.


නිත්‍යවානි වෛද්‍යවරියක් වීම ගැන ගෙදර අය මොකද කියන්නේ?


මම අද ඉන්න තැන ගැන ඒ අයට හරිම සතුටුයි.


පවුලේ සාමාජිකයන් හතර දෙනෙක් කීවාට තව කෙනෙක් ඉන්නවා නේද?


ඔය කියන්නේ මගේ මහත්තයා ගැන නේද? එයාවත් අනිවාර්‌යෙන්ම මතක් කරන්නම ඕනෑ. මම අවුරුදු හතරකට වගේ කලින් විවාහ වුණා. ප්‍රියදර්ශන් තමයි ඔහුගේ නම. ප්‍රියදර්ශනුත් දෙමළ කෙනෙක්. අපි ගොඩක් සතුටින් ආදරෙන් ඉන්නවා.


ප්‍රියදර්ශනුත් වෛද්‍යවරයෙක්ද?


නැහැ. ඔහු බැංකු නිලධාරියෙක්. කොළඹ වැඩ කරන්නේ. ඒ නිසා ඔහුට කොළඹින් පිට යන්න බැහැ. මම විතරයි ගම්පොළ ඉන්නේ.


සති අන්තයේ නිත්‍යවානි පවුලේ අය බලන්න කොළඹ එනවද?


මම ගම්පොළට ඇවිත් වැඩි කාලයක් නැහැනේ. දැන්ම නිවාඩු ගන්න බැහැ. කලාතුරකින් තමයි මම කොළඹ එන්නේ. හැබැයි මහත්තයා වගේම මගේ පවුලේ අය මාව බලන්න සතියෙන් සතියට ගම්පොළට එනවා.

 

More News..