Best News Website award
brand logo
logo
 කාවන්තිස්‌සගේ වටිනාකම උසාවිය ඉල්ලයි

කාවන්තිස්‌සගේ වටිනාකම උසාවිය ඉල්ලයි

17 November 2026 | උපාලි ආනන්ද- අනුරාධපුර අධිකරණ


මරණයට පත් කාවන්තිස්‌ස ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මගින් මේ මස 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහව මහෙස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න ගල්ගමුව වනජීවි කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්නට නියෝග කළාය.


කාවන්තිස්‌ස ඇතාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මේ මස 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහචාර්ය පී.පී.එමී.ඒ. විජේසුන්දරට ද නියෝග කෙරිණ.


මෙසේ නියෝග කළේ ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ protect elephant world global association ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රාමනායක අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.


ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රාමනායක අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ විදුලිය සැර වද්දවා දීගදන්තු එක ඇතා මරා දැමීමේ සිද්ධියට අදාළව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අනුව දීගදන්තු එක ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන අනූවක් බවට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කර ඇති බවයි.


එමෙන්ම දීගදන්තු එක දළ ඇතා මරා දැමීමේ සිද්ධියේ සැකකාර රක්ෂණ සමාගම් කළමනාකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව පුවත් පත් වාර්තා උපුටා දක්වමින් අධිකරණයට පෙන්වා දුන් නීතිඥවරයා කාවන්තිස්‌ස දළ ඇතා මිය ගියේ බෙහෙත් විෂ වීමක් නිසා බවට සමාජයේ මතයක් පවතින බවත් කාවන්තිස්ස මිය ගියේ පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියදී බවත් ඒ ගැන අධිකරණයේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය. කාවන්තිස්‌ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනුයේ නිපුණතා සංවර්ධන නිලධාරියකු සහ තවත් සැකකරුවෙකි.

 

More News..