පොළට ගියාට ඉස්පිරිතාලේ යන්න එපා...
13 September 2026
පොළට ගියාට ඉස්පිරිතාලේ යන්න එපා...
13 September 2026
ජය ශ්‍රී මහා බෝධියට කිලෝ මීටරයක් හමාරක් දුරිනි අනුරාධපුර මහ දිසාපති කාර්යාලය එකල පිහිටා තිබුණේ. දිසාපති කාර්යාලය හෙවත් කච්චේරිය ඉදිරියේ පොල්අතු මඩුවක පෙත්සම් ලියන්නා එදා අනුරාධපුරේ අවට කාටත් වැදගත් පුද්ගලයකු වූයේය. එදා ඉංග්‍රීසියෙන් ලියන පෙත්සමක් රුපියල් දෙකකි.
ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන කිරි ආහාර පූජා කරන්න එන අනුරාධපුරේ කවුරුත් ගෙදර ගියේ මේ දිසාපති කාර්යාලයට ගිහින් පෙත්සමක් ගසලාය.
ඇස් ලොකු බණ්ඩා වැවේ නාන්න එන කෙල්ලන්ට විහිළු කිරීම, ආණ්ඩුවේ ඉඩමේ තලහේනක් ඉසීම, සමුපකාර මැනේජර් සමග හොරකම් කිරීම ආදිය කියා හිටපු විදානේට එරෙහිව සියඹලා වැවේ ටිකිරි මැණිකා පෙත්සමක් ගැසූ සැටි අනුරාධපුරේ කීර්තිමත් මහ දිසාපතිවරයකුව සිටි ලීල් ගුණසේකර තම රාජ්‍ය සම්මානලාභී ‘‘පෙත්සම’’ නවකතාවේලා ලියයි. ‘පෙත්සම’ නවකතාවේ හැටියට නම් පෙත්සම ගහන්න එන අනුරාධපුරේ මිනිස්සු ඒ ගමනේම ජයසිරි මහා බෝධියත් වැඳපුදාගෙන ගෙදර යති. නමුත් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න ආවුන්ද ගෙදර ගියේ පෙත්සමකුත් ගහලාය.
ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන එන අය පෙත්සමක් ගසා යාමේ සිරිත අනුරාධපුර මහ දිසාපතිවරයා එදා නිරීක්ෂණය කළා සේම ඒ වූ අනුරාධපුරයේම උපන් අපේ ජනාධිපතිතුමාද මිනිසුන්ගේ එබඳුම සිරිතක් නිරීක්ෂණය කර තිබේ.
‘‘අපේ අය පුරුදු වෙලා තියෙනවා පොළට ආවහම ඒ ගමන්ම ඉස්පිරිතාලෙට ගිහින් බේත් ටිකක් අරන් යන්න. වේලක් බීලා ඉතුරු බෙහෙත් ටික විසි කරනවා. මේක විශාල නාස්තියක්. අපරාධයක්. ඒක අපි නතර කරන්න ඕනෑ.’’
නුවරකලාවියේ මිනිසුන්ගේ සිරිත් ‘පෙත්සම’ නවකතාවේ ලා විස්තර කළ ලීල් ගුණසේකර නම් එදා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූවත්, නුවරකලාවියේම ඉපදුණ රාජ්‍ය නායකයා කළ ප්‍රකාශය නම් නොයෙක් අංශවල දෝෂ දර්ශනයට ලක්ව තිබේ. රාජ්‍ය නායකයාට මෙසේ කියන්නට සැබෑ හේතු ඇතුවාක් සේම, ඒ ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක්කිරීමටද බොහෝ හේතු තිබේ.
බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගෙන එදිනෙදා පිටව යන සංඛ්‍යාව වසරකට ලක්ෂ අටසියයක් පමණ බව කියැවේ. පොළේ ආ ගමන් රෝහලට ඇවිත් බේත් ටිකකුත් අරන් යන බවට ජනාධිපතිතුමා කියන්න ඇත්තේ මේ පිරිස ගැන විය යුතුය.
සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාව අමු සොහොන හැර, යන්නට අකැමැතිම තැන් තුනකි. ඒ පොලිසිය, උසාවිය සහ ආණ්ඩුවේ ඉස්පිරිතාලයය. පොලිසි යනවාට වඩා ගුටිකාගෙන ඉවසා හිඳීමත්, උසාවිය යනවාට වඩා ගොඩින් බේරා ගැනීමටත් මිනිසුන් කැමැති වන්නේය. කොහොමත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට කෙනෙක් යන්නේ එසේ නොගියහොත් අමු සොහොනට යන්නට සිදුවීම ඊට වඩා භයානක වන නිසාය. උණට බේත් ගන්නට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට පෝලිමට එකතුවෙන රෝගියා බෙහෙත් කවුන්ටරය ළඟට යන විට නොමිලේම අමතරව රෝහලෙන් අටානුවක් රෝග, නවානුවක් ව්‍යාධි ලබා දී අවසානය. ඒ අතුරින් ලෙඩේට වුවමනා මුළු බෙහෙත් ප්‍රමාණයම අරගෙන ගෙදර යන්නට ලැබෙන කෙනකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් ඉල්ලා ගැනීමට පමණක් දෙවැනි වන්නේය.
එසේම තමන්ට තියෙන ලෙඩේට වඩා දරුණු මාරාන්තික ලෙඩ ගොඩක් ආණ්ඩුවට තියෙන බව දැනගන්නට ලැබෙන්නේ ආණ්ඩුවේ රෝහලකට බෙහෙත් ගන්න යන්නන්ටය. ඇඳන් හිඟවීම, පිළිකා රෝගීන්ට අවශ්‍ය කීමෝ තෙරපි ඖෂධ හිඟවීම දක්වා ආණ්ඩුවේ ව්‍යාධි දැන ගත හැක්කේ ආණ්ඩුවේ රෝහලකට ගියෝතිනි. මේ ලෙඩේට ආණ්ඩුවට දෙන්න තියෙන එකම බෙහෙත ගැන කීවේ එකම එක සෞඛ්‍ය ඇමැතිය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ආණ්ඩුවේ ඉස්පිරිතාලවල බාල බෙහෙත් ගෙන්වීම ගැන පැවැත් වූ විවාදයකදී කීවේ ‘‘ඉස්පිරිතාලෙට ඇතුළුවෙන හැම ලෙඩාම හොඳ වෙලා ගෙදර යන්නේ නෑ. ඒකනේ ඉස්පිරිතාලෙ ඉස්සරහා මල්ශාලා තියෙන්නේ’’ කියාය.
පොළේ යන එකෙකු ආණ්ඩුවේ ඉසිපිරිතාලෙට ගොඩවිය යුත්තේ හතරහමාරට කලිනි. ඒ හතරහමාර පසුවෙන විට බාහිර රෝගී අංශය වසන නිසාය. මේ නිසාම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන්නේ ලෙඩේ හොඳ කරගන්නට ‘කළ නොහැක්කක් නොමැත’ කියන කොමාන්ඩෝ ආදර්ශ පාඨය පිළිගන්නා පිරිස පමණය.
මේ සියල්ල තිබුණත් පෞද්ගලික රෝහලට වඩා ආණ්ඩුවේ රෝහල ශ්‍රේෂ්ඨ වන එක තැනක් තිබේ. ඒ මෘත ශරීරාගාරය පිළිබඳ පිළිවෙතය.
ආණ්ඩුවේ රෝහලේ මෘත ශරීරාගාරයට යන්නාගේ දේහය බිලක් ගෙවන්නේ නැතිව නිදහසේ නිදහස් කෙරේ. නිදහස් සෞඛ්‍යය සේවයේ අගය හොඳටම වැටහෙන තැනකට තියෙන්නේ එතැනය. එහෙත් පෞද්ගලික රෝහලක මියයන්නාගේ දේහය මෘත ශරීරාගාරයට යන්නේ ඒ රෝහලේ බිලේ බරත් දරාගෙනය. දේහය නිදහස් කෙරෙන්නේ බිල ගෙව්වොතින් පමණය.
ඒ බිල හැදෙන්නේ රෝහල් හිමිකාරිත්වය සූරා කන මුදල මිලට එකතු කිරීමෙන් පමණක් නොවේ. ආණ්ඩුව පෞද්ගලික රෝහල්වලට ගෙන්වන ඇඳ, පුටු, මේස ආදියේ සිට ස්කෑන් මැෂින් සඳහා අය කරන බද්දේ බරද වෛද්‍යවරුන්ගේ වැටුපට ගහන බද්දේ බරද ගෙවන්නට වන්නේ ලෙඩාටය. ආණ්ඩුව නිරෝගී භාණ්ඩාගාරයක් තනාගෙන තිබෙන්නේ රෝගීන්ගෙන්ද බදු අයකරගෙනය. වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂයේ සිටියදී රෝගියෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ඇතුළුවන විට ඇඳක් නැති වුණොත් ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් නඩු දාන්න පුළුවන් රටක් හදන බව කීවේය. රෝගීන් රෝහලට යාම සීමා කිරීමෙන් එබඳු රටක් හදන්නට තියෙන හොඳම විසඳුම බව දැන් ආණ්ඩුවට තේරෙනවා වාගේය.

